“Food City” වෙළෙඳ ලකුණ අනවසරයෙන් භාවිතා කරන්නන්ට එරෙහිව පියවර ගන්නවා – කාගිල්ස් සභාපති අවධාරණය කරයි

    July, 4, 2019

    දිවයිනේ විශාලතම සිල්ලර වෙළෙඳ අලෙවි ජාලය වන කාගිල්ස් ෆුඩ් සිටි හි “Food City” වෙළෙඳ ලකුණ අනවසරයෙන් භාවිතාකරන්නන්ට එරෙහිව කටයුතු කිරීමට පියවර ගන්නා බව කාගිල්ස් සිලෝන් පීඑල්සී හි සභාපති ලොයිස් පේජ් මහතා පවසයි. කාගිල්ස් සිලෝන් පීඑල්සී හි 2018/19 වාර්ෂික වාර්තාව හරහා සිය තොටස්කරුවන් අමතමින් සභාපතිවරයා මේ බව අවධාරණය කර සිටී.

    “භූගෝලීය වශයෙන් මුළු ශ්‍රී ලංකාවම ආවරණය කරනු ලබන විශාලතම සිල්ලර අලෙවි ජාලය වශයෙන් කාගිල්ස් ෆුඩ් සිටි හඳුන්වන්න පුළුවන්. රට පුරා ෆුඩ් සිටි සුපිරි වෙළෙඳසැළ් 380 ක් තිබෙනවා. අපගේ වටිනා පාරිභෝගිකයින් හට පිරිසිදු පරිසරයක් තුළ දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ භාණ්ඩ ලබා දීමට අපි නිරන්තරයෙන් කැපවෙනවා. අපගේ ෆුඩ් සිටි සන්නාමය දිනෙන් දින ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසින් අපට කිසිදු සම්බන්ධතාවයක් නොමැති සිල්ලර වෙළෙඳසැළ් කිහිපයක් අපගේ වටිනා “Food City” වෙළෙඳ ලකුණ අනවසරයෙන් භාවිත කරන බව අනාවරණය වී තිබෙනවා. මෙවැනි නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා“, යැයි පේජ් මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කර සිටියේය.