Formula Student 2016 සඳහා සහභාගි වන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්ට ඩීමෝ වෙතින් සවිබලය

    March, 25, 2016

    මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) ලොව ප්‍රධානතම ශිෂ්‍ය මෝටර් රථ ක්‍රීඩා තරඟාවලිය වන "Formula Student 2016" සඳහා සහභාගි වන මොරටුව විශ්ව විද්‍යාලයේ කාර්මික ඉංජිනේරු අධ්‍යයනාංශයේ සිසුන්ට සහය දැක්වීමට ඉදිරිපත් වෙයි. "Formula Student 2016" එක්සත් රාජධානියේ Silverstone Circuit හිදී පැවැත්වීමට නියමිතය.

    අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් පැවැත්වෙන යුරෝපයේ ප්‍රධානතම මෝටර් රථ ක්‍රීඩා තරඟාවලිය වන "Formula Student 2016" කාර්මික ඉංජිනේරුවන්ගේ ආයතනය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් විසින් සංවිධානය කරයි. ලොව පුරා මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව පිළබඳ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් මෙම තරඟාවලිය සංවිධානය කරන අතර මෙහිදී ධාවන තරඟ සඳහා වන මෝටර් රථ නිර්මාණය, නිපදවීම සහ ධාවනය යන අංශවලින් තරඟාවලිය පැවැත්වේ. තනි අසුන සහිත රේසිං රථ වසරක් තුළ නිපදවීම සහ ඒම රථ තරඟ සඳහා යොදාගැනීම ද මෙම තරඟාවලියේදී සිදුකෙරේ. මෙලෙස නිර්මාණය කෙරෙන රථ අත්හදාබැලීම, සහ රේසිං රථයක් නිපදවීම සම්බන්ධයෙන් සිසුන් සතු කුසලතාව පිළිබඳ තක්සේරු කිරීම ද මෙහිදී සිදුවෙයි. ෆෝමියුලා උපාධිධාරී සිසුන් විශාල පිරිසක් ෆෝමියුලා 1 මඟින් සිය දක්ෂතා පෙන්වා ඇති අතර මේ වනවිට තවත් සිය ගණනක් සිසුන් තරඟ ඉසව්ව සඳහා සුදානම් වෙමින් සිටී.

    එලෙස සුදානම් වෙමින් සිටින සිසුන්ට ලොව ප්‍රමුඛතම ප්‍රවාහන සමාගම් විසින් සහයෝගය ලබාදෙමින් සිටින්නේ හෙට දවසේ මෝටර් රථ තාක්ෂණය මෙම සිසුන් විසින් නිර්මාණය කරන නිසාය. මෙම තරඟාවලිය සඳහා ලොව විවිධ රටවලින් අයදුම්පත් ලැබී ඇති අතර ඒ අතරින් කණ්ඩායම් 156 ක් පමණක් එක්සත් රාජධානියේ Silverstone Circuit හිදී දස්කම් දැක්වීමට සුදුසුකම් ලබනු ඇත.

    මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂික මොරටුව විශ්ව විද්‍යාලයේ කණ්ඩායම TeamSHARK ලෙස නම් කර ඇති අතර මෙම "Formula Student 2016" සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම කණ්ඩායම සඳහා ඩීමෝ අනුග්‍රාහකත්වය දක්වයි. මේ අනුව සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින් ඉදිරිපත් වන සිසුන්ට මෝටර් රථ නිපදවීම සඳහා අවශ්‍ය වන මුල්‍යමය සහයෝගය ලබාදෙන අතර ජුලි මාසයේ දී මෙම කණ්ඩායමට තරඟාවලිය සඳහා විදේශගත වීමට අවශ්‍ය සහයෝගය ද ලබාදීමට නියමිතයි. එමෙන්ම TeamSHARK කණ්ඩායමට සිය මෝටර් රථ නිපදවීම සඳහා සියඹලාපේ පිහිටි ඩීමෝ පරිශ්‍රයේ ද ඉඩකඩ වෙන්කර දී තිබේ.

    මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම පිළිබඳව අදහස් දක්වමින් ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකාව විවිධ අංශයන්ගෙන් ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති රටක් වන බැවින් මෝටර් රථ තාක්ෂණය අතින් ද දක්ෂතා වලින් පිරිපුන් රටක් බවට පත්කිරීමේ අරමුණින් සිය සමාගම කටයුතු කරන බවයි. තරුණ සිසුන් සිය දක්ෂතා තුළින් ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් අත්කර දීමට සමත්වනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කලේය.මෙම සිසුන් සඳහා සිය පරිශ්‍රයේ ඉඩකඩ වෙන් කරදී ඇති බවත් පංති කාමර සහ යන්ත්‍ර සූත්‍ර මෙන්ම ඩීමෝ තාක්ෂණය ද භාවිත කරමින් වඩා හොඳ නිර්මාණ රැසක් සිදුකරනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය. ශක්තිසම්පන්න රේසිං රථයක් නිපදවීම සම්බන්ධයෙන් වන උපදෙස් සහ සහයෝගය ද මෙහිදී මෙම සිසුන්ට හිමිවන අතර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මේ සඳහා සම්පත් දායකයින් වශයෙන් සම්බන්ධ කරගෙන ඇති බව ද ඩීමෝ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    MERCEDES AMG PETRONS ෆෝමියුලා 1 කණ්ඩායමේ ප්‍රධානි රෝස් බ්‍රෝන් "Formula Student 2016" අනුශාසකත්වය දරන අතර ඔහු සමාරම්භක උත්සවයේ දී සිසන් මුණගැසීමට නියමිතය. "Formula Student 2016" සඳහා මෙම වසරේ තානාපතිවරුන් ලෙස MERCEDES AMG PETRONS F1හි විධායක අධ්‍යක්ෂ පැඩී ලෝව්, Aerodynamics Sauber F1 හිටපු ප්‍රධානි විලියම් ටෝට්, සහ හිටපු F1 ධාවක ඩේවිඩ් බ්‍රැහැම් සහ BBC නිවේදක ඩලස් කැම්බෙල් නම් කර තිබේ.

    කාර්මික ඉංජිනේරු ආයතනයේ සභාපති රිචඩ් ෆෝක්සන් සඳහන් කළේ මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ සියලුම අංශවලින් දක්ෂතා දක්වන්න්ට මෙය කදිම අවස්ථාවක් බවයි.මෝටර් රථ ඉංජිනේරු තාක්ෂණයෙන් ඔබ්බට ගොස් රේසිං රථ නිපදවීම දක්වා සිසුන්ගේ දැනුම පුළුල් වීම මෙහිදී සුවිශේෂි වන බව ද හෙතෙම සඳහන් කලේය. එමෙන්ම මෙහිදී සිසුන් තුළ කණ්ඩායම් හැඟීම, නව තාක්ෂණය පිළිබඳ උනන්දුව සහ තාක්ෂණික අභියෝග ජයගැනීම ආදී කරුණු පිළිබඳ සිසුන්ට අවබෝධයක් ලැබෙනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.තව ද සීමිත පිරිවැයකින් ඉලක්ක ජයගැනීම පිළිබඳව ද සිසුන් මෙහිදී අවබෝධයක් ලබනු ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වසරේ ඉංජිනේරුමය නව සොයාගැනීම් රැසක් මෙහිදී එළිදැක්වෙනු ඇති බව ත් මෙවර තරඟාවලියට ඉදිරිපත් වන සෑම කණ්ඩායකමකට සුභපැතුම් එක් කරන බවත් හෙතෙම සඳහන් කරයි.

    "Formula Student 2015" හි ජයග්‍රාහකයින් වන නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්ව විද්‍යාලයීය කණ්ඩායම මෙවර ද තරඟ වදිනු ඇති අතර, එක්සත් රාජධානියේ ප්‍රමුඛතම මෝටර් රථය සමඟ බාත් සරසවියේ කණ්ඩායමද තරඟ කිරීමට සුදානමින් සිටියි. තව ද බර්මින්හැම් සරසවියේ කණ්ඩායමද Oxford Brookers කණ්ඩායම ආදී පසුගිය වසරේ ප්‍රමුඛ 10 අතරට පැමිණි කණ්ඩායම් සියල්ල ද මෙවර තරඟ කිරීමට නියමිතය.