December, 26, 2015
කුරුඳු ඇතුළු කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක්වන ජී පී ද සිල්වා ඇන්ඩ් සන්ස් ඉන්ටර්නැෂනල් (GPDS) සමාගම මෙවර ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2010 සහ 2011 වසර සඳහා කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය.
පසුගිය දෙසැම්බර් මස 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී විවිධ අංශ 27 ක් නියෝජනයවන පරිදි ජයග්‍රාහකයන් 130 දෙනෙකුට සම්මාන ප්‍රදානය කෙරිණි.
අපනයන ක්ෂේත්‍රයේ මෙරට ඉහලම ඇගයුම ලෙස සැලකෙන ජනාධිපති අපනයන සම්මානය අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි.
"ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය වෙනුවෙන් අප දැක්වූ සුවිශේෂී දායකත්වය මෙවැනි කීර්තිමත් සම්මානයකට ලක් වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අපනයන ක්ෂේත්‍රය තුළ දැනුම සහ විශේෂඥතාව බෙදාහදා ගනිමින් ඇසුරුම්කරණය, ගුණාත්මකබව සහ සන්නාම වටිනාකම වර්ධනය කිරීමටත්, නව්‍යකරණය කිරීමටත් අප ගත් අඛණ්ඩ උත්සාහය මෙමගින් තවදුරටත් පිළිබිඹු වුණා." GPDS සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා මහතා සඳහන් කළේය.
"අප සමාගම මෙන්ම, මෙරට කුළුබඩු කර්මාන්තය ද ගෝලීය වෙළඳපල තුළ තවදුරටත් ඉහලට ඔසවා තැබීමට අප හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට අපේක්ෂා කරනවා. ඉදිරියේදීත් මෙවැනි ජයග්‍රහණ රැසක් අත්පත් ගැනීමට අපට හැකිවන බව අපගේ විශ්වාසයයි." ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගුණාත්මක බවින් ඉහලම කුරුඳු, ගම්මිරිස්, කරඳමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි ඇතුළු කුළුබඩු රැසක් ලොව කීර්තිමත් නාමයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව, එම අපනයනයෙන් 90% කට අධික ප්‍රමාණයක් රසකාරක, සුවඳකාරක හා ඖෂධ වැනි අවසන් පාරිභෝගිකයන් සඳහා අපනයනය කරයි. කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ ප්‍රධානතම අපනයන භෝගය කුරුඳු වේ.
අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව පසුගිය වසරේ ඇ.ඩො. මිලියන 260.3 ක් වූ කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයන වටිනාකම මේ වසරේදී ඇ.ඩො. මිලියන 319.45 ක් දක්වා වර්ධනය වී ඇත. ඉන්දියාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය මෙන්ම ජර්මනිය, පේරු රාජ්‍යය, කොළොම්බියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ග්වාතමාලාව සහ ඉක්වදෝරය යන රාජ්‍යයන් පසුගිය වසරේදී මෙරට කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රධානතම වෙළඳපල බවට පත් විය.
දුරදක්නා නුවණින් හෙබි දිරිමත් ව්‍යවසායකයෙකු වූ ජී.පී. ද සිල්වා මහතා විසින් 1955 වසරේදී ආරම්භ කරන ලද GPDS සමාගම, දේශීය වෙළඳපල තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගනිමින් 1970 දශකයේදී, චිලී රාජ්‍යයට කුරුඳු අපනයනය කරමින් මුල් වරට ගෝලීය වෙළඳපලට පිවිසියේය. ලොව සැබෑ කුරුඳු අවශ්‍යතාවයෙන් 90% කට අධික ප්‍රමාණයක් සපුරාලමින්, මෙක්සිකෝව, දකුණු ඇමරිකාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැදපෙරදිග සහ යුරෝපය ඇතුළු ලොව ප්‍රමුඛතම වෙළඳපල සඳහා අපනයනය කරමින් වර්තමානයවන විට GPDS සමාගම ලොව විශාලතම කුරුඳු අපනයනකරු බවට පත්ව සිටී.
ප්‍රමිතියෙන් උසස්, සැබෑ කුරුඳු අපනයනේ ප්‍රමුඛයාවන GPDS සමාගම සාදික්කා, කරාබුනැටි, කළු ගම්මිරිස්, වියළි පොල්, කරඳමුංගු, සුගන්ධ තෙල්, වසාවාසි, වියළි දෙහි සහ තවත් නිෂ්පාදන රැසක් අපනයනය කරයි. අපනයන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් සමාගම විවිධ සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සිය වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් මෙරට තුළ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මෙරට ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් දක්වන දායකත්වය අගයනු වස් පැවැත්වෙන ජනාධිපති අපනයන සම්මාන උළෙල 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කරන ලදි. එතැන් පටන් එය, අපනයනකරුවන් හට අපනයන ක්ෂේත්‍රය තුළ තවදුරටත් ඉදිරියට ගමන් කිරීම සඳහාවන ප්‍රධානතම සංකේතයක් බවට පත්ව ඇත.
ඡායාරූපය - GPDS සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා සහ එම සමාගමේ අධ්‍යක්ෂ නිහාල් ද සිල්වා යන මහත්වරුන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමන් (වම) අතින් කුළුබඩු සහ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ විශිෂ්ටතම අපනයනකරුට හිමි සම්මානය ලබා ගනිමින්

(වමේ සිට දකුණට) GPDS සමාගමේ අපනයන කළමනාකාර ශෂික ද සිල්වා, කළමනාකාර අධ්‍යක්ෂ අමිල ද සිල්වා, ලාල් ද සිල්වා, අධ්‍යක්ෂ නිහාල් ද සිල්වා, උපාලි ද සිල්වා සහ සාමාන්‍යාධිකාරි ප්‍රියදර්ශනී හල්පේ යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති
Video Story