Greenpeace South Asia වෙතින්, එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ සමාරම්භක දිනයේදී දේශගුණය සහ සාගර පිළිබඳ නව වාර්තාවක්

    October, 22, 2024

    ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි. ඔක්තෝබර් 21 වැනිදා, එම සමුළුවේ සමාරම්භක දිනයේදී Greenpeace South Asia සංවිධානය, "In Hotter Water: How the Global Ocean Treaty can boost climate action" (අනතුරක් මධ්‍යයේ: ගෝලීය සාගර ගිවිසුම තුළින් දේශගුණික ක්‍රියාකාරකම් ඉහළ නැංවිය හැකි ආකාරය) මැයෙන් වූ නවතම වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එය, දේශගුණික අර්බුදයේ විනාශකාරී බලපෑම, සාගර ජීවීන්ට මෙන්ම වෙරළබඩ ප්‍රජාවන්ට බලපාන ආකාරය මෙන්ම ඒ සම්බන්ධ අනාගත විසඳුම්ද ප්‍රබල ලෙසින් දැක්වෙන වාර්තාවකි.

    ඉකුත් වසර පහක කාලය තිස්සේ, සාගර උෂ්ණත්වයෙහි සැලකිය යුතු වැඩිවීමද ඇතුළුව, කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ. එනම් කොරල්පර විරංජනය, සමුද්‍ර ජීවී ව්‍යාප්තියේ වෙනස්කම්, අයිස්පර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම මෙන්ම කාලගුණය සම්බන්ධ ආන්තික සිදුවීම් සම්බන්ධව වසර පහක කාලය තුළ කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයන්වල ප්‍රතිඵලද සාරාංශ වශයෙන් වාර්තාව මගින් ගෙනහැර දක්වා තිබේ. එපමණක් නොව මෑත කාලීන අධ්‍යයනයන් විදහා දක්වමින් එම වාර්තාව අනතුරුව හඟවන්නේ, පරිසරයට හිතකර නොවන මානව ක්‍රියාකාරකම්වලට සමාන වේගයකින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමට සාගරවලට හැකියාවක් නොමැති බවයි. ඒ හේතුවෙන්, සියලු මානව ක්‍රියාකාරකම්, සාගරවල හිතකර පැවැත්වම විශාල වශයෙන් බලපාන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් බරපතල ප්‍රතිවිපාකවලට ගොදුරු වෙයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Greenpeace South Asia සංවිධානයේ ක්‍රියාමාර්ග කළමනාකරු අවිනාශ් චංචල් කුමාර් මෙලෙසින් සඳහන් කරයි. “කාලගුණික විපර්යාසයන්ට එරෙහිව අපි ක්ෂණික පියවරවලට එළඹිය යුතු අතරම අපගේ හොඳම සගයා ලෙසින් සාගරය ආරක්ෂා කරගත යුතුයි. ඒවගේම, කාබන් විමෝචනය අවම කිරීමත් අප හමුවේ පවතින ක්ෂණික අවශ්‍යතාවයක් වශයෙන් සලකා කටයුතු කළ යුතුයි. ඊට අමතරව, සාගර තුළ විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි සංරක්ෂිත ප්‍රදේශ ඇති කිරීමට හැකියාව සලසන ගෝලීය සාගර ගිවිසුම අනුමත කිරීමට රජයත් කටයුතු කළයුතු වෙනවා. එවැනි කඩිනම් ක්‍රියාමාර්ග මඟින් සමුද්‍රීය පාරිසරික පද්ධතිවල ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීමෙන් හා කාබන් ගබඩා කිරීමේ ධාරිතාව වැඩි කිරීමෙන්, අවසානයේ සියලු දෙනාටම ප්‍රතිලාභ ළඟා කර ගත හැකි තත්ත්වයක් උදා වෙනවා.”

    සාගර අර්බුදය හා දේශගුණික අර්බුදය නරක අතට හැරෙමින් පවතින මෙම වකවානුවේ ඵලදායි ලෙස සාගරය ආරක්ෂා කරගැනීමට රජයන් විසින් පියවර ගනිමින් තිබේ. එහෙත් මේ වන විටත්, ලෝකයේ සමස්ත සාගරයෙන් 64% ප්‍රමාණයකින් සමන්විත, පෘථිවියේ විශාලතම වාසභූමිය ලෙසින් සැලකෙන මහ මුහුදෙහි, මිනිස් ක්‍රියාකාරකම් වලින් මුළුමනින්ම ආරක්ෂා වී ඇත්තේ 1% කටත් වඩා අඩු ප්‍රමාණයකි.

    Greenpeace South Asia ශ්‍රී ලංකා ක්‍රියාකාරිනී අනීතා රුමේෂි පෙරේරා මෙලෙස සඳහන් කරයි.

    “ලෝකයේ සියලුම ජීවීන්ගේ පැවැත්මට සාගරයෙන් සැලසෙන සහය අතිමහත්. එම සහය සංකේතවත් කරමින්, අපි එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුව පැවැත්වීමට ආසන්න දිනක කොළඹ නෙළුම් කුළුණේදී යෝධ බූවල්ලකුගේ පිම්බෙන රූපයක් ප්‍රදර්ශනය කරමින් එය ජනතාවට සිහිපත් කළා. සාගරය ආරක්ෂා කිරීමට රජයේ සහයද අපේක්ෂා කරන අපි, නව ජනාධිපතිවරයාගෙන් හා අනාගත රජයෙන් ඉල්ලා සිටින්නේ ගෝලීය සාගර ගිවිසුම අනුමත කිරීම රජය ඉහළම පාරිසරික ප්‍රමුඛතාව බවට පත් කරගන්නා හැටියටයි. සාගරයේ බලපෑමෙන් සිදුවන දේශගුණක වෙනස්කම්, උණුසුම් ජල තරංග හා ගංවතුර තත්ත්වයන් මිනිසුන්ගේ එදිනෙදා පැවැත්මට ඉතාමත් කරදරකාරී ලෙස බලපානවා. ඒ නිසා අපට පහසුවෙන්ම ගත හැකි සරල බහු-පාර්ශවික විසඳුම්වලට අනුව, මෙම පාරිසරික ගැටලුව විසඳා ගැනීමට කඩිනම් පියවර ගත යුතුයි.”

    16 වැනි CBD COP සමුළුවට නව වාර්තාව ඉදිරිපත් කරමින්, සාගර ආරක්ෂණය පිළිබඳ අවධානය යොමු කළ Greenpeace සංවිධානය සිය මැදිහත්වීම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ජෛව විවිධත්ව අරමුදල් පිහිටුවීම, ප්‍රතිපත්ති සකස් කිරීමේදී ජෛව විවිධත්වය හා දේශගුණය අතර සහයෝගිතාව නැංවීම, සාගර හා වෙරළබඩ ප්‍රජාව වෙත සහය ලබාදීම ආදිය කෙරෙහි  ප්‍රමුඛතාවය ලබාදෙමින්, සාගර ආරක්ෂා කිරීමේ සිය කර්තව්‍යයෙහි Greenpeace South Asia අඛණ්ඩව නියැළෙයි.