GTEX2 දෙවන අදියර ශ්‍රී ලංකාවේ දී නිල වශයෙන් ඇරඹේ

    July, 3, 2024

    GTEX2 ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමක්

    රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් සමාරම්භ කිරීම අද කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවයට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු දිලුම් අමුණුගම,ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන (ITC) නියෝජිතයින් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    GTEX2 වැඩසටහන සඳහා අරමුදල් සපයනු ලබන්නේ ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය (SECO) මඟින් වන අතර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) විසින් තාක්ෂණික සහයෝගය ලබාදෙනු ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සමඟ එක්ව මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ඇත.

    ශ්‍රී ලංකාව තුළ GTEX2 ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම ද මෙහිදී සිදු විණි.

    ආසියානු කලාපයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සැපයුම් මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම මෙම වැඩසටහනේ අවසන් ඉලක්කය වන බව මෙම අවස්ථාවට එක්වෙමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවූ බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ඇඟලුම් ක්ෂේත්‍රය සංවර්ධනය වෙමින් පවතින බව ද පෙන්වා දුන්නේය.

    GTEX2 යනු ඊජිප්තුව, ජෝර්දානය, මොරොක්කෝව, ටියුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළත් පස් අවුරුදු වැඩසටහනකි. මේ යටතේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වලට සමාජ සම්මතයන් සහ පාරිසරික තිරසාරභාවය ඇතුළුව ඔවුන්ගේ මෙහෙයුම් හැකියාවන් වැඩිදියුණු කිරීමට මෙන්ම පවතින නිෂ්පාදන සහ සේවාවන්ට වටිනාකමක් එක් කිරීමට, සාම්ප්‍රදායික සහ නව වෙළෙඳපොළ වෙත අපනයන පුළුල් කිරීමට සහාය ලැබෙනු ඇත.

    2024 සිට 2027 දක්වා මෙම අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ ශ්‍රී ලංකා සංසදය (JAAF) ස්විට්සර්ලන්ත සම්මේලනය සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.

    GTEX2 හි ප්‍රධාන ඉලක්කය වන්නේ රෙදිපිළි සහ ඇඟලුම් වටිනාකම් දාමය තුළ නව රැකියා උත්පාදනය කිරීමත් සමඟ ආර්ථික වර්ධනය, දරිද්‍රතාවය අඩු කිරීම මෙන්ම තිරසාර වෙළඳාම ප්‍රවර්ධනය කිරීමත්ය. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ඇත. මේ ඔස්සේ ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයේ තත්වය වැඩිදියුණු කිරීම, නව තාක්‍ෂණයන් හඳුන්වා දීම සහ ආර්ථික ප්‍රවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරෙන අතර මෙරට අපනයන අංශයන්ගේ විශාල දායකත්වයක් ලබා දෙන රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ ගුණාත්මක භාවය හා පරිසර හිතකාමී ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීම උදෙසා කටයුතු සිදු වන බව ද පෙන්වා දිය හැකිය.