Hatch Fund Singapore, ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන කෘෂි තාක්ෂණික නවක ව්‍යාපාරයක් වන Cultive8 වෙත සිය ප්‍රථම ආයෝජනය සිදු කරයි

    January, 5, 2026

    ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත.

    නවක ව්‍යාපාර සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශයන්, ව්‍යාපාර උපදේශනය, පුහුණුව, හවුල්කාරිත්වයන් සහ ව්‍යාපාර අරමුදල් ලබා දීමෙන් Hatch ශ්‍රී ලංකාවේ නැගී එන ව්‍යාපාර සහ නවෝත්පාදන අවකාශයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. මෙම සුවිශේෂී ආයෝජනය, දකුණු ආසියාවෙන් බිහිවන සාර්ථකත්වයේ ඉහළටම ගමන් කිරීමේ හැකියාව ඇති නැගී ව්‍යාපාර හඳුනාගෙන ඒවා ගෝලීය වෙළෙඳපොළ කරා ගෙන යාමට Hatch සිදු කරන කැපවීම මනාව පිළිබිඹු කරයි.

    මින් පෙර ශ්‍රී ලංකාවේ Agrithmics ලෙස හැඳින්වූ Cultive8 හි මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය පුරා එහි මෙහෙයුම් කණ්ඩායම් ක්‍රියාත්මක වේ.මෙම සමාගම දකුණු ආසියාව පුරා විශාල සහ මධ්‍යම පරිමාණ වතු සහ සැකසුම් සමාගම් සඳහා ස්වයංක්‍රීයකරණය, ERP සහ මූල්‍ය තාක්ෂණ විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වේ. Cultive8 විදුලි සංදේශ, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැනි අංශවල ප්‍රසිද්ධ සමාගම් සමඟ කටයුතු කරන අතර, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිය මෙහෙයුම් අඛණ්ඩව වර්ධනය කරයි. Cultive8 සමාගම, කෘෂිකාර්මික අංශය කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර මෙම කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටළු විසඳීම සඳහා AI සහ IoT තාක්ෂණයන් පදනම් කරගත් විසඳුම් ලබා දෙයි.

    Cultive8 හි නිර්මාතෘ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත් ප්‍රේමකුමාර් මහතා මෙසේ පැවසීය. "Cultive8 හරහා කලාපයේ වතු සහ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට අපි කැපවී සිටිනවා. Hatch Global වෙතින් ලැබුණු මෙම ආයෝජනය සමඟින් ශ්‍රී ලාංකේය තාක්ෂණය ආසියානු වෙළෙඳපොළ සහ ඉන් ඔබ්බට ගෙන යාමට අපි සූදානම්. අපගේ අඛණ්ඩ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්වා කෘෂිකාර්මික කර්මාන්තයේ විවිධ අවස්ථා වලදී මුහුණ දෙන බොහෝ වැදගත් ගැටළු විසඳීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා."

    මෙම ගනුදෙනුව හරහා Hatch Fund Singapore විසින් ඇමරිකානු ඩොලර් 650,000ක පමණ මුදලක් ආයෝජනය කරනු ලබන අතර, එමඟින් Cultive8 හි ප්‍රාග්ධන ව්‍යුහයෙහි ඇතැම් කොටස් ක්‍රමවත් කිරීමටත්, එහි කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යාප්තිය වේගවත් කිරීමට සහාය වීම සඳහාත් නව අරමුදල් සපයයි. ප්‍රාග්ධනයෙන් ඔබ්බට, Cultive8 හට Hatch හි ගෝලීය ඇක්සලරේටර් වේදිකාවට ප්‍රවේශය ලැබෙනු ඇති අතර, එය අනුප්‍රාප්තික අරමුදල් රැස් කිරීම, උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ වෙළඳපොළට පිවිසීම හරහා ආරම්භක අවධියේ සමාගම්වලට සහාය වේ. තවද Hatch සතුව ශක්තිමත් සබඳතා පවතින සිංගප්පූරුව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමේ සුවිශේෂී අවස්ථාව ද මේ තුළින් හිමිවේ.

    Hatch Fund Singapore යනු දකුණු ආසියාවේ නැගී එන නව තාක්ෂණික සහ තාක්ෂණය භාවිත කරන ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරන ඇමරිකානු ඩොලර් මිලියන 20ක ආයෝජන අරමුදලකි. මෙම ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් Hatch සහ Hatch Fund හි සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා මෙසේ පැවසීය.

    "ශ්‍රී ලංකාවෙන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන නව ව්‍යාපාර බිහිවීම ධනාත්මක ලකුණක්. අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්ත්වය මෙම වර්ධනයට සහාය වන බව මම විශ්වාස කරනවා. දේශීය වෙළෙඳපොළේ සාර්ථකත්වයෙන් ඔබ්බට ගොස් ගෝලීය මට්ටමට පිවිසෙන මෙවැනි ආයතන හඳුනාගෙන ඔවුන්ට සහාය වීමට Hatch Fund සූදානමින් සිටිනවා."

    ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු සහ ආයෝජකයෙකු වන ජීවන් ඥානම් මහතා, නවක ව්‍යාපාර 30කට අධික සංඛ්‍යාවක අරමුදල් ආයෝජනය කර ඇති අතර ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ව්‍යාපාර ආරම්භ කිරීම, වර්ධනය කිරීම සහ පුළුල් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

    කෘෂිකාර්මික තාක්‍ෂණය, මූල්‍ය තාක්‍ෂණය, කෘතිම බුද්ධිය/යන්ත්‍ර ඉගෙනීම, බ්ලොක්චේන් සහ වෛද්‍ය තාක්‍ෂණය යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, Hatch Fund දකුණු ආසියාවේ නවක ව්‍යාපාර සඳහා ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව යන රටවල හවුල්කාරිත්වයන් තුළින් ගෝලීය වෙළෙඳපොළ අවස්ථා විවර කර දෙයි. මෙම අරමුදල, ආරම්භක ව්‍යාපාරවලට ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීමට සහ වඩාත් ඉක්මනින් වර්ධනය වීමට උපකාර කිරීම සඳහා ධනවත් කලාපීය පවුල් සහ ගෝලීය දකුණු ආසියානු ප්‍රජාව සමඟ ද එක්ව කටයුතු කරයි.

    මෙම ප්‍රථම ආයෝජනය Hatch Fund හි ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති තාක්ෂණික සමාගම් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම මෙහි අරමුණයි.