Healthguard Distribution හි සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP සහතිකවලින් පිදුම් ලබයි

    January, 13, 2026

    Sunshine Holdings හි ඖෂධ බෙදාහැරීමේ අංශය වන Healthguard Distribution මෑතකදී එහි කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක හත සඳහාම ISO 9001:2015 සහ Good Distribution Practice (GDP) යන සහතික හිමි කරගත්තේය- මෙම සහතික පිරිනමන ලද්දේ බියුරෝ වෙරිටාස් ශ්‍රී ලංකා විසිනි. මෙම කීර්තිමත් සහතික ඖෂධ ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීමට අදාල උසස් තත්වයේ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා Healthguard Distribution හි දැඩි කැපවීම පෙන්නුම් කරන කදිම සාක්ෂියකි.

    ISO 9001:2015, එක්සත් රාජධානියේ සහතික කිරීමේ සේවා ආයතනය (United Kingdom Accreditation Service (UKAS)) විසින් පිරිනමන ලද, ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් සංවර්ධනය කරන ලද ගෝලීය වශයෙන් පිළිගත් තත්ත්ව කළමනාකරණ ප්‍රමිතියකි. එය ඵලදායි තත්ත්ව කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීම වෙනුවෙන් සියලු ප්‍රමාණයේ සමාගම් සඳහා ප්‍රමිති රාමුවක් ඉදිරිපත් කරයි.

    GDP සහතිකය මගින් ඖෂධ සැපයුම් ජාලය පුරා උසස් තත්ත්ව ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා Healthguard Distribution හි කැපවීම පිළිබිඹු වේ. UKAS විසින් සහතික කර ඇති බියුරෝ වෙරිටාස් ලංකා, කර්මාන්තයේ හොඳම භාවිතයන් සහ නියාමන අවශ්‍යතාවන් සපුරාලීම සහතික කිරීම සඳහා Healthguard Distribution හි ක්‍රියාවලි, යටිතල පහසුකම් සහ භාවිතයන් මෙහිදී සලකා බලන ලදී.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Healthguard Distribution ප්‍රධාන විධායක නිළධාරී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ “අපගේ සියලුම කලාපීය ඖෂධ බෙදා හැරීමේ ඒකක ISO 9001:2015 සහ GDP යන සහතික හිමි කරගැනීමෙන් පෙන්නුම් කරන්නේ ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව හා පාරිභෝගික තෘප්තිය කෙරෙහි සමාගමේ කැපවීමයි. මෙම ගෝලීය සහතිකයන් මගින් බෙදාහැරීමේ ක්‍රියාවලිය පුරාවට විශ්වාසය සහ ප්‍රමිතිය පවත්වා ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ඖෂධ නිෂ්පාදන ලබා දීමේ Healthguard Distribution හි අරමුණ තවත් ශක්තිමත් කරනවා.” යනුවෙනි.

    Healthguard Distribution හි සියලුම මෙහෙයුම් කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ තත්ත්ව කළමනාකරණ පද්ධතියක් භාවිතා කරයි. එමඟින් සියලුම මෙහෙයුම් පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි යොමු කිරීමට ද, සේවාදායක අවශ්‍යතා මෙන්ම ජාතික හා ජාත්‍යන්තර නියාමන ප්‍රමිතීන් සපුරාලන බව ද සහතික කරයි. තවද Healthguard Distribution ඖෂධ නිෂ්පාදන ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) යහපත් බෙදාහැරීමේ ක්‍රමවේදවලට අනුකූලව වන බවත් සැපයුම් දාමයේ සෑම අදියරකදීම ගුණාත්මකභාවය සහ නියාමන නීති රීති අනුගමනය කරන බවත් සහතික කරයි.

    තවද මෙම ඇගයීම මගින් සියලුම ඖෂධ නිෂ්පාදනවල ආරක්ෂාව, සඵලතාවය සහ ගුණාත්මක ප්‍රමිතිය සඳහා Healthguard Distribution හි කැපවීම පෙන්නුම් කරයි. තත්ත්ව කළමනාකරණය කෙරෙහි සමාගම දක්වන දැඩි අවධානය නිසා ඖෂධ ගබඩා කිරීම සහ බෙදා හැරීම ඉතා ප්‍රවේසමෙන් මෙන්ම ආරක්ෂා සහිතව සිදුකරමින් රෝගීන්ගේ යහපැවැත්ම තහවුරු කරයි.

    Sunshine Holdings හි අනුබද්ධ ආයතනයක් වන Healthguard Distribution, ශ්‍රී ලංකාවේ පළමු Distribution-as-a-Service (DaaS) ඖෂධ මාදිලිය හඳුන්වා දීම සඳහා සිය මව් සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. සමාගම සමස්ත දිවයින පුරා සෞඛ්‍ය සහ සුවතා නිෂ්පාදන සඳහා වගකීම්සහගත බෙදාහරින්නෙකු ලෙස ක්‍රියා කරන අතර නියාමන අධිකාරීන් සහ ඖෂධ නිෂ්පාදකයින් විසින් සකසන ලද නීති රීති වලට ද දැඩි ලෙස අනුකූල වේ. Healthguard Distribution ඖෂධ සහ පාරිභෝගික සන්නාම සමාගම් සඳහා විධිමත් සේවාවක් සපයන අතර කර්මාන්තයේ සමස්ත සාර්ථකත්වයට ද දායක වෙයි.