• Ada Derana BIZ Sinhala
  • HNB Assurance PLC
  • HNB Finance PLC
  • sri lanaka

HNB Finance PLC සහ HNB Assurance PLC සහයෝගීතා ගිවිසුමකට එළැඹෙයි 

August, 16, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය පාරිභෝගිකයින්ගේ රක්ෂණ අවශ්‍යතා වඩාත් පහසුවෙන් සහ ප්‍රශස්ත අයුරින් සපුරාලීම සඳහා HNB Assurance PLC සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹිනි.

HNB Finance සහ HNB Assurance යන සමාගම් පසුගියදා එළැඹි අවබෝධතා ගිවිසුමට අනුව පාරිභෝගිකයින්ට පුද්ගලික සහ අනෙකුත් සාමාන්‍ය රක්ෂණ සේවා ඇතුළුව සමාගම මගින් ලබා දෙන තවත් ප්‍රතිලාභ රැසක් එකම ස්ථානයක් තුළදී අත්විඳීමේ හැකියාව ලැබෙනු ඇත. HNB Assurance හි රක්ෂණ සේවා නියෝජිතයකු HNB Finance හි සෑම ශාඛා කාර්යාලයකටම අනුයුක්ත කෙරෙන බැවින් රක්ෂණ සේවා කඩිනමින් සහ වේගවත්ව ලබා ගැනීමටත් මේ තුළින් පාරිභෝගිකයින්ට වඩා ප්‍රශස්ත පාරිභෝගික අත්දැකීමක් හිමිවනු ඇත.

“ අපගේ පාරිභෝගික අත්දැකීම් ගුණාත්මකව නැංවීම සඳහා විවිධ ආයතනයන් සමග වඩාත් ඵලදායී සහයෝගීතාවන්ට එළැඹීමට අපි නිරතුරුව කටයුතු කරනවා. HNB Assurance සමග එළැඹි මෙම අවබෝධතා ගිවිසුමට අනුව මෙරට විශාලතම මූල්‍ය සේවා සමූහය වන HNB සමූහයේ ශක්තිය සහ අසම සම ප්‍රතිලාභයන් රැසක් අපගේ පාරිභෝගිකයින්ට හිමිවන බවද කිවයුතුයි” යනුවෙන් HNB Finance PLC හි කළමනාකාර අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB Assurance PLC හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා “ HNB සමුහයේ තවත් ශක්තිමත් සමාගමක් සමග එක් වෙමින් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සමග නිවැරදිව ගැලපෙන අපගේ රක්ෂණ සේවා දීපව්‍යාප්ත පාරිභෝගික පිරිසක් වෙත පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප වඩාත් සතුටට පත්වෙනවා. එමෙන්ම අසම සම පාරිභෝගික අත්දැකීමක් ලබා දීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයන්හි ප්‍රමුඛතම ස්ථායක් ගන්නා බැවින් HNB Finance හි පාරිභෝගිකයින්ටත් මෙම සහයෝගීතාවයේ උපරිම ප්‍රතිලාභ භුක්ති විදීමට හැකිවන බවත් විශේෂයෙන් සදහන් කළ යුතුයි.” යනුවෙන් පැවසීය.

 

සේයා රූ සටහන:  වමේ සිට - HNB Finance PLC හි අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ, මූල්‍ය සේවා සංවර්ධන සහ ආයතනික ව්‍යාපාර ප්‍රධානී ශානක රමේශ් පෙරේරා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩබ්ලිව්.එස්.පී අරංගල, කළමනාකාර අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්, HNB Assurance PLC හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න, ප්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී සහයෝගීතා සුරේෂ් ප්‍රනාන්දු. ණය සේවා ජ්‍යෙෂ්ඨ විධායිකා අශානි ධර්මසූරිය, බැංකුරක්ෂණ සේවා පිළිබඳව ආයතනික සේවා ප්‍රධානී අචල හොරණ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින්.