HNB ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කරයි

    February, 24, 2016

    2015 මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් බිලියන 16.2 ක බදු ගෙවීමට පෙර ලාභයක් සහ රුපියල් බිලියන 11 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට හැටන් නැෂනල් බැංකු සමූහය සමත්වී තිබේ. මෙහිදී හැටන් නැෂනල් බැංකුව 2015 මූල්‍ය වර්ෂය තුළ වාර්තා කර ඇති බදු පෙර ලාභය රුපියල් බිලියන 15 ක් ලෙසත් බදු පසු ලාභය රුපියල් බිලියන 10.4 ක් ලෙසත් සටහන් වේ. මෙය බැංකුව විසින් රුපියල් බිලියන 10 සීමාව ඉක්මවා බසු පසු ලාභයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාස ගත වනු ඇත.

    ගෙවී ගිය වර්ෂය තුළ දී බැංකුවේ ආයතනික බැංකුකරණ කටයුතුවල 30% ක්, සුළු හා මධ්‍ය පරිමාණ අංශය 25% ක්, ලීසිං 35% ක් සහ පුද්ගලික ණය 67% ක් ලෙසින් වර්ධනය වී ඇත.

    මේ අතර ශුද්ධ පොළී ආදායම රුපියල් බිලියන 26.3 දක්වා 5.8% කින් ද, කොමිස් ආදායම් රුපියල් බිලියන 5.8 දක්වා 18.4% කින් ද, 2015 වසර තුළ දී ඉහළ ගොස් තිබෙන අතර වීසා සහ මාස්ටර් කාඩ් හි කොටස් අලෙවිය තුළින් රුපියල් මිලියන 889 ක ප්‍රාග්ධන ලාභයක් ද සමාගම විසින් වාර්තා කර තිබේ.

    අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 34.8 ක් ලෙසින් දැක්වෙන අතර සමූහය විසින් 12.7% ක වර්ධනයක් ද සමඟ රුපියල් බිලියන 42.6 ක මෙහෙයුම් ආදායමක් වාර්තා කර ඇත.