Hutch මගින් දැන් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම්

    January, 20, 2016

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන 3G ජාලයක් වන Hutch,මොබිටෙල් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය හා එක්වී Hutch පාරිභෝගිකයින් වෙත සපයන පහසුකම් වැඩිදියුණු කරමින් මෙම සේවාව ක්‍රියාත්මක කරනු ඇත.

    මෙරට දෛනිකව දුම්රියෙන් ගමන් කරන පිරිස ලක්ෂ 3 ඉක්මවන අතර මේ හේතුවෙන් දුම්රිය තදබදයක්ද ඇතිවී තිබේ. මේ නිසා කලින් ආසන වෙන් කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා දුම්රිය ස්ථානය වෙත ගොස් පෝලිමක රැඳී සිට ආසන වෙන්කරවා ගැනීම වර්තමානයේ කාර්ය බහුල ජීවිතයක් ගතකරන්නන්ට අසීරු කටයුත්තකි. මෙම අපහසුතාවට පිළියමක් වශයෙන් Hutchවෙතින් සිය පාරිභෝගිකයින් සඳහා මෙම නව සේවාව හඳුන්වා දී තිබේ.මෙම සේවාව යටතේ ජංගම දුරකථනය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම පහසුවෙන් සිදුකළ හැකිය. ඕනෑම Hutch දුරකථනයකින් 365 ඇමතීමෙන් පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන මෙම දුම්රිය ආසන වෙන්කිරීමේ සේවාව හා සම්බන්ධ වී ආසන වෙන්කර ගත හැකිය. ප්‍රවේශ පත්‍රය සඳහා වන අයකිරීම දුරකථන සබඳතාවයේ ඇති ගිණුමේ ශේෂයෙන් අයකර ගැනීම සිදුවෙයි.මෙහිදී කෙටි පණිවිඩයක් මගින් ප්‍රවේශ පත්‍රය වෙන්කළ බවට තහවුරු කිරීමක් ද පාරිභෝගිකයාට හිමිවෙයි.එම කෙටි පණිවිඩය දුම්රිය ස්ථානයේ ඒ සඳහා විශේෂ වු කවුන්ටරයට පෙන්වීමෙන් ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙයි.

    කොළඹ - මහනුවර සීඝ්‍රගාමී දුම්රිය, වවුනියාව සීඝ්‍රගාමී දුම්රිය, වවුනියාව රාත්‍රී තැපැල් දුම්රිය, යාල්දේවී, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, උඩරට මැණිකේ, පොඩි මැණිකේ, සහ රාජධානි එක්ස්ප්‍රස් යනාදී ප්‍රධාන දුම්රිය මාර්ග සඳහා මෙම සේවාව වලංගු වෙයි.

    Hutchප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේ Hutch, මොබිටෙල් හා ශ්‍රී ලංකා දුම්රිය සේවය ඒකාබද්ධව තම පාරිභෝගිකයින්ට සහන සැලසීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටු වන බවයි .එමෙන්ම සම සේවා සැපයුම්කරුවෙකු වන මොබිටෙල් සහ සහයෝගීතාවයෙන් මෙම සේවාව සැපයීමට අවස්ථාව හිමිවීම සුවිශේෂි තත්වයක් බවයි.

    ශ්‍රී ලංකා මොබිටෙල් හි ජ්‍යෙෂ්ට සාමාන්‍යාධිකාරී (වෙළඳ) නලින් පෙරේරා මහතා සඳහන් කළේ ක්ෂේත්‍රයේ සමානයින් වන Hutch සහ මොබිටෙල් ඒකාබද්ධ සේවා සැපයීම දුරකථන සේවා සැපයුම් ක්ෂ්ත්‍රයට නවමු අත්දැකීමක් බවයි. mTicketing සේවාව මගින් මේ වන විට පාරිභෝගිකයින්ගේ ජීවන රටාව පහසු කරවීමට සමත්ව ඇති බවත් hutch හා එක්ව තව දුරටත් එම සේවාව පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

    Hutch නිරන්තරයෙන් සිය පාරිභෝගිකයාගේ සැබෑ අවශ්‍යතාව හඳුනාගනිමින් කටයුතු කරන අතර ජංගම දුරකථන බැංකු සේවා, රක්ෂණ සහ e-channeling ආදී වශයෙන් විවිධ වු පහසුකම් රැසක් සිය පාරිභෝගිකයින් වෙත දැනටමත් හඳුන්වා දී තිබේ.