IIT ඉන්ෆොස්කොල් අධ්‍යයන වැඩසටහන හරහා 100කට අධික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික පූර්ණ ශිෂ්‍යත්ව

    February, 25, 2019

    ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන ආයතනයක් ද වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය, සිය ඉන්ෆොස්කොල් වැඩසටහන හරහා 100කට අධික පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරයි.

    ඉන්ෆොමැටික්ස් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන ඉන්ෆොස්කොල් වැඩසටහන හරහා දිවයින පුරා විසිරී සිටින දක්ෂ සිසුන් හට ප්‍රමුඛ පෙළේ ආයතනයක පූර්ණකාලීන රැකියා පුහුණුවකට යොමුවන අතර ම එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හිමිකර ගැනීම සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් හිමිකර ගත හැකිය.

    අයදුම්කරුවන් හට එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන IIT උපාධි වැඩසටහන් රැසකට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවේ. BEng (ගෞරව) මෘදුකාංග ඉංජිනේරු, BSc (ගෞරව) පරිගණක විද්‍යා, BSc (ගෞරව) ව්‍යාපාර තොරතුරු පද්ධති සහ BA (ගෞරව) ව්‍යාපාර කළමනාකරණ යන උපාධි මේ යටතේ පිරිනැමේ. මෙම උපාධි වැඩසටහන් අර්ධකාලීන උපාධි වන අතර උපාධි වැඩසටහනේ වසර 5ක කාලය පුරා IIT ආයතනය තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කීර්තිමත් ආයතන සහ සමාගම් වල රැකියා පුහුණු අවස්ථා සිසුන්ට හිමිකර දීමට ද කටයුතු කරයි.

    ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල ලියාපදිංචි ගාස්තු, ඉගැන්වීම් ගාස්තු, විශ්වවිද්‍යාල ගාස්තු සහ විභාග ගාස්තු කිසිවක් අය නොකෙරෙන බැවින් වසර 5ක කාලය පුරා සිසුන්ට ඉතිරිවන මුදල රු. මිලියන 1.7කි. උපාධි සඳහා ඇතුළත් වීමට ප්‍රථම සිසුන් හට මාස 3ක නම්නීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද IIT ආයතනය කටයුතු කරයි. තවද, තමන් හදාරන උපාධියට අදාළ අත්දැකීම් ලබාගන්නා අතරම සමාගම් සහ ආයතන මගින් වසර 5ක කාලය පුරා ප්‍රමාණවත් දීමනාවක් ද සිසුන් හට හිමිවේ. උපාධි කාලය තුළ ද රැකියා අත්දැකීම් ලබා තිබීම හේතුවෙන් පූර්ණකාලීන උපාධි ලබාගත් පිරිසට වඩා රැකියා වෙළඳපල තුළ වැඩි ඉල්ලුමක් හිමිකර ගැනීමට ද සිසුන්ට හැකිවේ. සමස්තයක් ලෙස උපාධි කාලය අවසාන වන විට එක් සිසුවෙකුට ආසන්න වශයෙන් රු. මිලියන 6කට අධික මුල්‍ය ප්‍රතිලාභයක් හිමිවන අතර හෙට ලොව ව්‍යාපාරික අභියෝග සඳහා සාර්ථකව මුහුණදීමට ද සමත්වේ.

    1990 වසරේදී IIT ආයතනය ආරම්භ වූයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ව්‍යාපාර අංශවල කීර්තිමත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන මෙරට ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය ලෙසය. IIT ආයතනය, එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් සහ රොබර්ට් ගෝඩ්න් විශ්වවිද්‍යාල වලින් අභ්‍යන්තර පශ්චාද් උපාධි සහ සාමාන්‍ය උපාධි පිරිනමන සම්මානනීය උසස් අධ්‍යාපන ආයතනයකි.

    ඉන්ෆොස්කොල් වැඩසටහන හඳුන්වා දීමේ අරමුණ පැහැදිලි කරමින් ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, "තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අංශවල ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ තරුණියන් රැසක් සිටියත් අවාසනාවට මෙන් ඔවුන්ට ජාතික සහ ජාත්‍යන්තර තලය ජය ගැනීමට අවශ්‍ය අවස්ථා අඩුවී තිබෙනවා. IIT ආයතන මීට වසර ගණනකට පෙර ඉන්ෆොස්කොල් වැඩසටහන ආරම්භ කළේ එම හිඩැස සපුරාලීමටයි" යනුවෙනි.

    අ.පො.ස. සා/පෙළ විභාගයෙන් ඉංග්‍රීසි සහ ගණිත විෂයන් ඇතුළුව සම්මාන සාමාර්ථ තුනක් සහ අ.පො.ස. උ/පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සම්මාන සාමාර්ථ තුනක් සහිත වීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් වීමේ අවම සුදුසුකම් වේ.