IMF දෙවන වාරිකය ගැන මහ බැංකුව මෙසේ කියයි

    November, 21, 2016

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රථම සමාලෝචනය සාර්ථකව සම්පූර්ණ කරන ලද අතර විදේශ ගැනුම් හිමිකම් මිලියන 119.894 ක් හෙවත් ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 162.6 ක දෙවැනි වාරිකය 2016 නොවැම්බර් 18 දින මුදා හරින ලදී.

    විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණ වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ ප්‍රළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා උපකාර කිරීමයි. සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස විශේෂයෙන්ම, වෙළෙඳපොළ විශ්වාසය වර්ධනය කිරීමට සහ විදේශීය අංශය මත වූ පීඩනය අඩු කිරීමට දායක වන ලද රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය අරමුණු කර ගත් ක්‍රියාමාර්ග සහ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම ඇගයීමට ලක් කළේය.

    දූත පිරිස, ජූනි මස අගභාගය දක්වා වූ සියලූම ප්‍රමාණාත්මක කාර්ය සාධන දර්ශක සපුරා ගැනීම සඳහා රජය සහ අනෙකුත් ආයතන විසින් ගනු ලැබූ උත්සාහයන් අගය කරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ සාමාජිකයින් ද, දැනට ක්‍රියාත්මක වන විස්තීරණ ණය පහසුකම යටතේ වූ සපුරා ගැනීම් පිළිබඳව ප්‍රසාදය පළ කර ඇත.

    දෙවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් මුළු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 325 ක් විය. විස්තීර්ණ ණය පහසුකම තවදුරටත් පවත්වා ගැනීම රටේ වෙළෙඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීම, තරඟකාරීත්වය වැඩි කිරීම, විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව වර්ධනය කිරීම සහ එමඟින් මැදිකාලීන වර්ධන අපේක්ෂාවන් සපුරා ගැනීමට දායක වනු ඇත.