IMF නියෝජිතයෝ පාර්ලිමේන්තුවට

    April, 2, 2026

    2026 මාර්තු 26 සිට අප්රේල් 8 දක්වා සිදුකරනු ලබන ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) පස්වන සහ සයවන සමාලෝචනයට අදාළව ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද (02) කථානායකවරයා, නියෝජ්ය කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හමුවූහ.

    මෙම නියෝජිත පිරිසට ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය අංශ ප්රධානී එවන් පැපජෝර්ජියෝ මහතා (Evan Papageorgiou) සහ ජාත්යන්තර මූල්ය අරමුදල නියෝජනය කරන ජ්යෙෂ්ඨ ආර්ථික විශේෂඥයන් පිරිසක් ඇතුළත් වූහ.

    නියෝජිත පිරිස කථානායක වෛද්ය ජගත් වික්රමරත්න සමඟ පැවති සාකච්ඡාවේදී, ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසාධන ක්රියාවලියේදී ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය. දසවන පාර්ලිමේන්තුව, තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් දරන සහ ආබාධ සහිත ප්රජාව සඳහා නියෝජනයක් ඇතුළුව මෙරට විවිධත්වය පිළිබිඹු කරන ශක්තිමත් සහ සියලු පාර්ශ්වවලට අවස්ථාව හිමිවී ඇති (Inclusive) ව්යවස්ථාදායකයක් නියෝජනය කරන බව ඔහු පෙන්වා දුන්නේය.

    ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ශ්රී ලංකාවේ පූර්ණ කැපවීම කථානායකවරයා නැවත තහවුරු කළ අතර ශක්තිමත් මූල්ය ප්රතිපත්ති පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය. රාජ්ය මූල්ය කළමනාකරණ පනත සහ දූෂණ විරෝධී පනත වැනි ප්රධාන නීති සම්පාදන පියවර, මූල්ය විනය සහ යහපාලනය සහතික කිරීම සඳහා වැදගත් බව ඒ් මහතා සඳහන් කළේය.
    රාජ්ය මූල්ය විනිවිදභාවය ශක්තිමත් කිරීම සහ අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම සඳහා ශක්තිමත් පියවර ක්රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.
    පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සහ පළාත් පාලන නියෝජිතයින්ගේ ධාරිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු අධ්යයන මධ්යස්ථානයක් පිහිටුවීමේ සැලසුම් පිළිබඳව ද කථානායකවරයා කරුණු දක්වන ලදී. මීට අදාළව ධාරිතා වර්ධනය කිරීම සඳහා ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද ඔහු විමසා සිටියේය.
    මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය අංශ ප්රධානී එවන් පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේ ජාත්යන්තර මූල්ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතින බව බැවින් ඒ අනුව රට ධනාත්මක ආර්ථික ගමනක නිරත වන බවයි. නීති සම්පාදනයේ සහ ප්රතිපත්ති අධීක්ෂණයේ ආරක්ෂකයා ලෙස පාර්ලිමේන්තුවේ තීරණාත්මක කාර්යභාරය ඔහු අවධාරණය කළ අතර, ප්රතිසංස්කරණ සඳහා අඛණ්ඩ සහයෝගය ලබාදීමේ අවශ්යතාව පෙන්වා දුන්නේය.
    මෙරට ආර්ථික දැක්ම කෙරෙහි මැදපෙරදිග ගැටුම්වල බලපෑම මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසු සහන ලබා දීම, ඇතුළු කටයුතු ක්රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
    අනතුරුව නියෝජිත පිරිස පක්ෂ නායකයින් හමුවූ අතර නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රවී කරුණානායක, දිලිත් ජයවීර, ආචාර්ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ වෛද්ය රාමනාදන් අර්ච්චුනා යන මහත්වරු ඊට සහභාගී වූහ.
    මෙම රැස්වීමේදී, දිට්වා සුළි කුණාවෙන් පසු පවතින ප්රතිසංස්කරණ අභියෝග සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඇතුළු වත්මන් ආර්ථිකය පිළිබඳව පක්ෂ නායකයින් අදහස් හුවමාරු කර ගත්හ. ගාස්තු ඉහළ දැමීම, උද්ධමන කළමනාකරණය, බාහිරින් එල්ලවන පීඩනයන් සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා තිරසාර ව්යුහාත්මක ප්රතිසංස්කරණවල අවශ්යතාවය වැනි ප්රධාන කරුණු කෙරෙහි සාකච්ඡාවේදී අවධානය යොමු විය.
    ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ සංචාරයකට ද සහභාගී වූහ.
    පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් (නීතිඥ) හංස අබේරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් ද මෙම රැස්වීම්වලට සහභාගී වූහ.