September, 24, 2025
කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම සිය නවතම නවෝත්පාදනය වූ තේ දළු නෙලීමේ කූඩයක් සහිත ද්විත්ව නැමුම් කුඩය මෙම මස 18 වැනිදා සිට 21 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැති Industry Expo 2025 වෙළෙඳ ප්‍රදර්ශනයේදී එළි දැක්වීය.
ගම්පොළ පිහිටි සිය කර්මාන්තශාලාව අනපේක්ෂිත ලෙස ගින්නකට හසුවී විනාශවීමෙන් මාසයකට පසුව අගෝස්තු 29 වැනිදා නිල වශයෙන් සිය නිශ්පාදන මෙහෙයුම් යළි ආරම්භ කිරීමෙන් අනතුරුව Industry Expo 2025 ප්‍රදර්ශනයට සහභාගි වූ කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් ප්‍රදර්ශනය කරනු ලැබූ සිය නවතම නිශ්පාදනය මෙරට තේ වතු කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.
පෙන්ගුයින් සන්නාමය යටතේ උසස් තත්ත්වයෙන් යුතු කුඩ නිශ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය විසින් මෙරට තේ වතු ක්ෂේත්රය සඳහා නියම විසඳුමක් ගෙන දෙන ප්‍රායෝගික හා කාලෝචිත නවෝත්පාදනයක් ලෙස නව නිශ්පාදනය ඉදිරිපත් කරනු ලැබීය.
කූඩ සඳහා යොදා ගනු ලබන කල් පවතින ද්‍රව්‍යවලින් නිපදවනු ලැබූ කාර්යක්ෂමභාවයෙන් යුතු වැඩි ඉඩකඩක් සහිත ‘කඳුරට කුඩ‘ ඉන්ඩස්ට්‍රීස් නවතම නිශ්පාදනය තේ දළු නෙලන්නියන් විසින් දිගු කාලයක් පුරා මුහුණ දුන් ගැටලුවකට අංගසම්පූර්ණ විසඳුමක් සපයමින් සම්ප්‍රදායික කූඩය වෙනුවට භාවිත කළ හැකි අයුරින් වැසි, සුළං සහ අධික උෂ්ණත්වය ඇතුළු ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන ආකාරයේ කුඩයක් සහිතව නිර්මාණය කර තිබේ.
මදුරු දැල්, වැසි කබා, මේස්, ඇඳුම් වියලන රාක්ක, පාවහන් රඳවන රාක්ක, කොසු ඉදල් මිට සහ සියලු කොටස් සහිත කුඩ රාමු ඇතුළු විවිධාකාරයේ කුඩ වර්ග රැසකින් සමන්විත කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් නිශ්පාදන පෙළ දින 4ක් පුරා පැවැති Industry Expo 2025 ප්‍රදර්ශන භූමියේ ශාලා අංක B-02 හීදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
Industry Expo 2025 ප්‍රදර්ශනයට නිල වශයෙන් සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඳුරට කුඩ ප්‍රදර්ශන කුටියට ද පැමිණි අතර, එහිදී මෙරට ආර්ථිකයට සහ ජන සමාජයට එම නිශ්පාදන තුළින් ලබාදෙන විශිෂ්ඨ සේවය සහ දායකත්වය පැසසුමට ලක් කළේය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධාන කරනු ලැබූ Industry Expo 2025 ප්‍රදර්ශනය තුළින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන්ට සිය නවෝත්පාදන, තාක්ෂණය සහ තිරසර භාවිතයන් පෙන්නුම් කිරීමට කදිම අවස්ථාවක් සලසා තිබූ අතර, පසුගිය ජූලි මස 28 වැනිදා ඇතිවූ දැවැන්ත ගින්නෙන් සිය ගම්පොළ කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් පසු නැවත ශක්තිමත් අයුරින් සහ තිරසරභාවයෙන් යුතුව නැවත නැඟී සිටීමේ හැකියාව පෙන්නුම් කිරීමට කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් එම අවස්ථාව මැනවින් භාවිතයට ගත්තේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් Industry Expo 2025 ප්‍රදර්ශනය විවෘත කරනු ලැබූ අතර, මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25ක් නියෝජනය වන පරිදි දිවයින පුරා කර්මාන්තකරුවන් නියෝජනය වන ආකාරයෙන් ප්‍රදර්ශන කුටි 450ක් ඊට ඇතුළත් විය.
වසර 1977 දී ආරම්භ වූ කඳුරට සමාගම කුඩ නිෂ්පාදන සඳහා පමණක් නොව මදුරු දැල්, වැසි කබා, මේස්, ඇඳුම් වියලන රාක්ක, පාවහන් රඳවන රාක්ක, කොසු ඉදල් මිට සහ කුඩ රාමු හා සෙසු උපාංග වැනි පුළුල් නිෂ්පාදන පෙළක් ද පිරිනමමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතවල කොටසක් බවට පත්වී සිටී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුඩා නිශ්පාදකයන් ලෙස Industry Expo 2025 ප්‍රදර්ශනයට සහභාගි වූ කඳුරට කුඩ ඉන්ඩස්ට්‍රීස් අළු මතින් යළි පෙර නොවූ විරූ අයුරින් ශක්තිමත්ව නැඟී සිටීමේ සිය ප්‍රතිඥාව පෙන්නුම් කළ අතර, සුවිශේෂී නිශ්පාදන රැසක් ලබාදීමේ සහ ශ්‍රී ලාංකික ප්‍රජාවට නොමඳ දායකත්වය සැපයීමේ මෙහෙවර අඛණ්ඩව සිදු කරමින් සිටී.
