INSEE සිමෙන්ති සමාගමේ මානව සම්පත් විශිෂ්ටත්වය අගයමින් 2025 CIPM Great HR සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

    December, 22, 2025

    Siam City Cement (Lanka) Limited සමාගමේ සාඩම්බර සන්නාමයක් වූ INSEE සිමෙන්ති, තවත් ගෞරව සම්මානයකින් පිදුම් ලබන්නට පසුගිය දා සමත් විය. ශ්‍රී ලංකාවේ වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) විසින් ගෝලීය මානව සම්පත් උපදේශන ප්‍රමුඛයා වන Mercer සමඟ එක්ව සංවිධානය කරන ලද CIPM Great HR Awards 2025 සම්මාන උළෙලේදී, නිෂ්පාදන අංශයේ ජයග්‍රාහකයා ලෙස INSEE සිමෙන්ති, මෙම සම්මානය දිනා ගන්නා ලදී.

    සේවකයන්ගේ යහපත වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරන සන්නාමයක් වන INSEE සිමෙන්ති, සේවක හැකියාවන් සංවර්ධනය, ඔවුන්ගේ යහපැවැත්ම සහ තිරසර ආයතනික වර්ධනය සඳහා ද සැම විටම මුල්තැන දෙන සමාගමකි. මෙම ගෞරව සම්මානය තුළින් නැවතත් තහවුරු වන්නේ සන්නාමය සතු එම කැපී පෙනෙන ගුණාංගයයි. INSEE සමාගම ලැබූ ජයග්‍රහණයක් ලෙස මෙන්ම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අංශයේ මතු වෙමින් එන මානව සම්පත් ප්‍රමිතීන් ඉහළ නැංවීමේ වැදගත්කම ද මෙම සම්මානය තුළින් පෙනී යයි.

    Siam City Cement (Lanka) Limited සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා අදහස් දක්වමින්, “2025 CIPM Great HR Awards 2025 සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක් වීම INSEE සිමෙන්ති අප සැමට ආඩම්බර විය හැකි ජයග්‍රහණයක්. එය, සේවක ප්‍රජාව ආයතනික විශිෂ්ටත්වයේ සැබෑ නියමුවන් බවට වන අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කිරීමක්. අපගේ උත්සාහය වුණේ, සෑම සේවකයෙකුම බලගන්වන, සහාය ලැබෙන හා වර්ධනය වීමට උනන්දු කරවන පරිසරයක් නිර්මාණය කිරීමයි. ඉගෙනීම, ආරක්ෂාව, යහපැවැත්ම සහ වගවීම මුල් කරගත් ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම සඳහා වෙහෙස නොබලා කටයුතු කරන අපගේ මානව සම්පත් කණ්ඩායම් සහ අනෙකුත් කණ්ඩායම් නායකයින්ගේ කැපවීම මෙම සම්මානය තුළින් පිළිබිඹු වෙනවා.” යනුවෙන් සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ලෙස, INSEE සිමෙන්ති, පුළුල් පරාසයක ගොඩනැගිලි ද්‍රව්‍ය එකතුවක් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් දායාද කොට ඇත. තිරසරභාවය සහ අරමුණු ඉලක්ක කරගත් INSEE සන්නාම පොරොන්දුව වන 'Build for Life' දැක්ම සැබෑ කරන්නට කැප වූ සමාගම, නිෂ්පාදන සහ මෙහෙයුම්වලින් ඔබ්බට ගොස් සේවකයන්ගේ කුසලතා කළමනාකරණය, ආයතනික සංස්කෘතිය සහ මානව සංවර්ධනය ඔප් නැංවීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කරයි.

    INSEE සිමෙන්ති සමාගම තම මානව සම්පත් උපායමාර්ගය ලෙස ධාරිතාව සහ රැකවරණය කෙරෙහි සමාන අවධානයක් යොමු කරන අතර, ආයතනික සාර්ථකත්වය සේවක සංවර්ධනයේ සහ යහපැවැත්මේ පදනම බව සමාගමේ විශ්වාසයයි. කුසලතා සංවර්ධනය, නායකත්ව හැකියාවන් ගොඩනැඟීම, කාර්යසාධනය සහ වරප්‍රසාද ක්‍රමවේද, සේවක යහපැවැත්ම සඳහා විවිධ මුලපිරීම් මෙන්ම ආයතනික සෞඛ්‍ය සහ ආරක්ෂණ වැඩසටහන් වැනි අංශ රැසක මානව සම්පත් සංවර්ධන කටයුතු සඳහා සමාගම සැලකිය යුතු ආයෝජනයන් සිදුකර ඇත. මෙම මුලපිරීම් සැලසුම් කර ඇත්තේ පුද්ගල සහ කණ්ඩායම් කාර්යසාධනය ශක්තිමත් කිරීම සඳහා වන අතර, සේවකයින්ට ඔවුන් සැබවින්ම ඇගයීමට ලක්වන සහ ඔවුන්ගේ උපරිමයෙන් දායක වීමට පෙළඹවීමක් ඇති කරන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම එහි අරමුණයි.

    සමාගමේ පුළුල් මානව සම්පත් රාමුවට, විධිමත් නායකත්ව සංවර්ධන ක්‍රම, ක්‍රමවත් අනුප්‍රාප්තික සැලසුම්, උසස් ඉගෙනුම් වැඩසටහන් සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව භූමිකාවන්ට ඇතුළත් වීම ඇතුළු වෘත්තීය ගමනේ සෑම අදියරකදීම කුසලතා පෝෂණය කිරීම සඳහා පරිපූර්ණ වැඩසටහන් මාලාවක් ද ඇතුළත් වේ.

    සමාගමේ දිගුකාලීන, ස්ථාවර කැපවීම තුළින් ඉගෙනීම, වගවීම, සහයෝගීතාවය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම එදිනෙදා වැඩවලට ඇතුළත් කර, සේවක තෘප්තිය සහ ව්‍යාපාර කාර්යසාධනය යන දෙකම මෙහෙයවන ආයතනික සංස්කෘතියක් ගොඩනැගීමට INSEE සමාගමට හැකි වී ඇත.

    සමාගමේ තරගකාරී බව අඛණ්ඩව පවතින්නේ සේවක ප්‍රජාවගේ හැකියාව හරහා වන අතර, කුසලතා වර්ධනය කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කරන ලද උපායමාර්ගික ආයෝජනයන් මැනවින් ඵලදරා ඇති බව මෙම සම්මානය මඟින් තහවුරු වේ. ඉදිරිපෙළ සේවකයින්ගේ සිට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය දක්වා, INSEE සමාගම තුළ සෑම සේවකයෙකුටම වෘත්තීය සංවර්ධන අවස්ථා, උපකාරක පද්ධති සහ වර්ධනය සඳහා ඉඩකඩ එක සේ ලබා දෙයි. අනාගතය වෙත අවධානය යොමු කරමින්, සමාගමේ ශක්තිමත් බව සහ ශ්‍රම බලකායේ වර්ධනය වන අවශ්‍යතාවලට සහාය වීම සඳහා මානව සම්පත් ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් හඳුන්වා දීම සඳහා සමාගම පුරෝගාමීව කටයුතු කරයි.

    මානව සම්පත් අංශයේ විශිෂ්ට මෙහෙය ඇගයීම සඳහා පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ නවතම සම්මාන උළෙලක් ලෙස Great HR Awards 2025 සම්මාන උළෙල හඳුන්වා දිය හැකිය. මානව උපායමාර්ග, හැකියාවන් සංවර්ධනය, නායකත්ව සංවර්ධනය, සේවායෝජක සන්නාමකරණය, තාක්‍ෂණය අනුගමනය කිරීම සහ කාර්මික සබඳතා ඇතුළු විවිධ අංශ ඔස්සේ නවෝත්පාදනය, ඔරොත්තු දීමේ හැකියාව සහ තම සේවක ප්‍රජාව කෙරෙහි මනා කැපවීමක් පෙන්නුම් කරන සංවිධාන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මානව සම්පත් අංශය ඉහළ නැංවීම මෙම සම්මාන උළෙලේ අරමුණයි.

    CIPM සහ Mercer විසින් මෙහෙයවන ලද පුළුල් ඇගයීම් ක්‍රියාවලියකින් පසුව සම්මාන ප්‍රදානය කරන ලද අතර, කර්මාන්ත කිහිපයක කීර්තිමත් මානව සම්පත් සහ ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත කීර්තිමත් මණ්ඩලයක් මෙහි විනිශ්චය කටයුතු සඳහා දායක විය. මෙම ඇගයුම් ක්‍රියාවලියේදී සවිස්තරාත්මක ලිඛිත අයදුම්පතක්, මානව සම්පත් උපායමාර්ග සහ පාලන රාමු පිළිබඳ මනා ඇගයීමක්, සේවක ජීවන චක්‍ර වැඩසටහන් සහ ක්‍රියාවලීන් පිළිබඳ පුළුල් සමාලෝචනයක් සහ මැනිය හැකි ව්‍යාපාර සහ මානව බලපෑම් මිනුම් වැනි කරුණු රැසක් විශේෂ පරීක්ෂාවට ලක් විය. INSEE HR කණ්ඩායමට ද මෙම ජයග්‍රාහී ගමන්මඟ තුළ ජාතික සහ ජාත්‍යන්තර මානව සම්පත් ප්‍රමිතීන් පිළිබඳ පුළුල් දැනුමක් ලබන්නට අවස්ථාව හිමි වූ අතර, ශක්තීන් (Strengths) සහ අවස්ථා (Opportunity) පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නට ද මෙය ඉවහල් විය.

    අනාගතයේදී, තීරණ සඳහා දත්ත පදනම් කරගත් දැනුම ඇතුළු කිරීම, පරිපූර්ණ සේවක අත්දැකීම වැඩිදියුණු කිරීම හා තිරසර වර්ධනයක් තුළින් දිගුකාලීන වටිනාකම් නිර්මාණය සඳහා ව්‍යාපාරික නායකත්වය සමඟ සමීපව කටයුතු කිරීම මඟින් එහි බලපෑම වර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳ INSEE සිමෙන්ති අවධානය යොමු කරයි.