January, 7, 2026
Siam City Cement (Lanka) Limited (INSEE Lanka) සමාගම 2026 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු තුසිත් සී. ගුණවර්ණසූරිය මහතා පත් කළ බව නිවේදනය කර ඇත. ඒ අනුව, නන්දන ඒකනායක මහතා අඛණ්ඩව සභාපති ධුරය දරමින් ආයතනයේ දූරදර්ශී නායකත්වය සහ උපායමාර්ගික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කරනු ඇත.
INSEE සමාගම මෙතෙක් ආ සාර්ථකත්වයේ ගමනට නොමද දායකත්වයක් ලබා දුන් තුසිත් මහතා, Holcim (Lanka) Ltd, LafargeHolcim සහ INSEE යටතේ සමාගමේ වර්ධනය පුරාම කටයුතු කර ඇති අතර, මෙහෙයුම්වල ප්‍රගතිය සහ උපායමාර්ගික යන අංශ දෙකම නියෝජනය කරමින් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
2025 ජනවාරි මාසයේදී INSEE Lanka සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස නැවත එක් වූ ඔහු, එතැන් සිට විශිෂ්ට නායකත්වයක් ලබා දෙමින්, ඉහළ පෙළේ වර්ධනයක් කරා සමාගම මෙහෙයවීමට කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. EBITDA කාර්යසාධනය වැඩිදියුණු කිරීම, ආයතනික හැකියාවන් වර්ධනය, කුසලතා සංවර්ධන වැඩසටහන් වැනි කටයුතු හරහා ව්‍යාපාරික ප්‍රතිඵල වර්ධනය කිරීම ඒ අතරින් කිහිපයකි.
ව්‍යාපාරික උපායමාර්ග, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සැපයුම් දාම පරිවර්තනය සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන තුසිත් මහතා, විවිධ රටවල, විවිධ කර්මාන්ත පිළිබඳ නායකත්ව අත්දැකීම් ඇති පරිපාලකයෙකු ද වේ. එපමණක් නොව, ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ වසර 25කට වැඩි කාලයක් Lion Brewery (Ceylon) PLC, Hemas Manufacturing, Fonterra Brands Lanka, GlaxoSmithKline, MAS Active සහ DMS Software Engineering යන ආයතනවල ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති තුසිත් මහතා, ඉන්දියාව, බංග්ලාදේශය සහ තායිලන්තය වැනි රටවල ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු පිළිබඳ අත්දැකීම් රැසක් ද ලබා ඇත.
තුසිත් මහතා, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සාඩම්බර ආදි ශිෂ්‍යයෙකු වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් සහ එක්සත් රාජධානියේ Coventry විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර හා සංවිධානාත්මක මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. IMD (ස්විට්සර්ලන්තය) සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ විධායක නායකත්ව වැඩසටහන් සම්පූර්ණ කර ඇති අතර, IEEE (ඇමරිකා එක්සත් ජනපදය), CILT (එක්සත් රාජධානිය), ISMM (ශ්‍රී ලංකාව) සහ IESL (ශ්‍රී ලංකාව) යන සංවිධානවල සාමාජිකයෙකු ද වේ.
සභාපතිතුමාගේ පණිවුඩය – නන්දන ඒකනායක:
“අපගේ ව්‍යාපාරික මෙහෙයුම් පිළිබඳ තුසිත් සතු පුළුල් අවබෝධය, ශක්තිමත් මෙහෙයුම් කළමනාකරණය සහ තහවුරු කළ නායකත්ව හැකියාව, INSEE Lanka සමාගමේ ඊළඟ අදියරේ වර්ධනය සඳහා සුදුසුම අනුප්‍රාප්තිකයා ඔහු බවට සනාථ කරයි. INSEE සමාගම සහ වෙනත් විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර තුළ ඔහු ලබා ඇති අත්දැකීම් සමුදාය, අපගේ දිගුකාලීන ඉලක්ක ඉටු කිරීමට මෙන්ම, ආයතනයේ වටිනාකම් අර්ථවත් කිරීමට ද ඉතා උචිත නායකයෙකු ලෙස ස්ථානගත කරයි.”
ප්රධාන විධායක නිලධාරීතුමාගේ පණිවුඩය - තුසිත් සී. ගුණවර්ණසූරිය:
"INSEE Lanka සමාගමේ නායකත්වය දැරීමට ලැබීම මට ඉමහත් ගෞරවයක් සේ සලකන අතර, මා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන බෙහෙවින් කෘතඥ වෙමි. INSEE යනු සැමවිටම සමාගමකට එහා ගිය සාමූහික වටිනාකම්, දරාගැනීම් හා ජාතිය ගොඩනැඟීමේ වගකීම වෙනුවෙන් කැප වූ එකම පවුලකි. අපගේ මෙහෙයුම් විශිෂ්ටත්වය ශක්තිමත් කරගනිමින්, නවෝත්පාදනයන් සමඟ තිරසර වර්ධනයක් ඇති කරගනිමින්, අපගේ කණ්ඩායම්, ගනුදෙනුකරුවන්, හවුල්කරුවන් සහ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි."
තුසිත් මහතා සතු පුළුල් විශේෂඥභාවය, තහවුරු කළ ප්‍රවීණත්වය සහ ඉදිරි දැක්මක් ඇති නායකත්වය සමඟින්, INSEE Lanka සමාගමේ කාර්යසාධන විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසර වර්ධනය පිළිබඳ ඉදිරි පරිච්ඡේදයට මඟ පෙන්වීමට සුදුසුම නායකයෙකු බවට සනාථ කරයි. INSEE Lanka කණ්ඩායම ඔහුගේ අභිනව පදවි ප්‍රාප්තියට උණුසුම් සුබ පැතුම් මෙලෙස එක් කරයි.
Video Story