iPhone 6 උන්මාදය සමාගමටත් අභියෝගයක්

    September, 23, 2014

    සුප්‍රකට ඇපල් සමාගම විසින් පසුගියදා එළිදැක්වූ iPHONE 6 සහ iPhone 6 Plus ස්මාර්ට් ජංගම දුරකතන මිලියන 10 කට වැඩි ප්‍රමාණයක් දින තුනක් තුළදී අලෙවි වී තිබෙන බවත් මේ නිසා සමාගමේ ආදායම් අති විශාල වර්ධනයක් ලබා තිබෙන බවත් වාර්තා වේ.

    මෙම ස්මාර්ට් ජංගම දුකරතන දෙක ලෝකය පුරා අලෙවි කිරීම ආරම්භ කළේ පසුගිය සිකුරාදා වන අතර පසුගිය සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළදී පමණක් මෙතරම් විශාල දුරකතන ප්‍රමාණයක් අලෙවි වී තිබෙන බව සඳහන්ය.

    ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, ටිම් කුක් පවසා තිබෙන්නේ මෙම දුරකතන දෙක තමන් බලාපොරොත්තු වූවාටත් වඩා අලෙවි වෙමින් තිබෙන බවයි. මේ අනුව, ඇපල් සමාගම විසින් දින තුනක් තුළදී මෙතරම් දුරකතන ප්‍රමාණයක් අලෙවිකර තිබෙන්නේ මෙවර බව වාර්තා වේ.

    මෙම ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ඇතිවී තිබෙන දැවැන්ත ඉල්ලුම හමුවේ ඉතාමත් වේගයෙන් නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කිරීමේ අභියෝගයට සමාගම මුහුණ දී තිබෙන නමුත් අභියෝගය භාර ගැනීමට සූදානම් බව ටිම් කුක් පවසා තිබේ.

    මෙම දුරකතන දෙකින් වැඩිපුරම අලෙවි වන්නේ කුමන දුරකතනය දැයි ඇපල් සමාගම විසින් හෙළිකර නොමැතිවීමද කැපී පෙනේ.