IRCSL ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරමින් මෙරට ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය එළිදක්වයි

    February, 24, 2026

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමග අත්වැල් බැඳ ගනිමින්, රක්ෂණ ක්ෂේත්‍රයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරන, මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී දත්ත පද්ධතිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතියද වෙයි.

    රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරන, මෙම සුවිශේෂී දත්ත පද්ධතිය පිළිබඳ සංකල්පය සැබෑවක් කර ගැනීමට, IRCSL හි සභාපති ආචාර්ය අජිත් රවීන්ද්‍ර ද මැල් මහතාගේ මඟ පෙන්වීම් සුවිශාල වශයෙන් ඉවහල්ව ඇති අතර, ප්‍රබල දත්ත පාලනයක් සහිත, විනිවිදභාවයෙන් යුතු රක්ෂණ වෙ‌ළෙඳ පොළක් පවත්වාගෙන යාම සඳහා ඔහුගේ කැපවීම, ඒ සඳහා පදනම දමා තිබේ.

    මෙම මධ්‍යගත රක්ෂණ දත්ත ගබඩාව, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රථම ජාතික වැඩපිළිවෙළයි. මෙතෙක් එක් එක් රක්ෂණ සමාගම් සතුව වෙන් වෙන්ව තිබූ දත්ත, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) හරහා පාලනය වන එකම සුරක්ෂිත පද්ධතියකට ගොනු කිරීම මෙහිදී සිදු වේ. ඒ අනුව, රක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු විධිමත් කිරීම් අරමුණෙන් හඳුන්වාදෙන මෙම දත්ත පද්ධතිය මගින්, රක්ෂණ වංචාවන්ට තිත තබමින්, වඩාත් ප්‍රශස්ත සේවා අත්දැකීමක් රක්ෂණ පාරිභෝගිකයින්ට අත්විඳීමට සලස්වනු ඇත.

    ඉකුත් දශක ගණනාවක් තිස්සේම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ දත්ත, එම සමාගම්වල පද්ධතිවලට පමණක් ට සීමාවී තිබීම හේතුවෙන්, රක්ෂණ සේවාවන් පිරිනැමීමේදී පාරිභෝගිකයින් සම්බන්ධයෙන් සලකා බලන වැදගත්ම කරුණු වන, අවදානම්  පාරිභෝගිකයින්, රක්ෂණ වන්දි ඉතිහාසය මෙන්ම, එම වෙළෙඳ පොළේ නවතම ප්‍රවණතා පිළිබඳව මෙන්ම, රක්ෂණ වංචා සිදුවන රටාවන් හඳුනා ගැනීමට විශාල බාධාවක් වී තිබිණි. එම බාධා මගහරවමින්, දැන් මෙම ජාතික වැඩපිළිවෙළ මගින් ප්‍රථමයෙන් මෝටර් රථ රක්ෂණ දත්ත ද, අනතුරුව සෞඛ්‍ය සහ ජීවිත රක්ෂණ දත්තද එක් කරමින් අවසානයේ, සියලු දත්ත ඒකාබද්ධ පද්ධතියට ඇතුළත් කිරීම සාර්ථකව සිදුකෙරේ.

    මෙම දත්ත පද්ධතිය හරහා රක්ෂණ සමාගම්වලට එක් එක් පාරිභෝගිකයාගේ අවදානම් තත්ත්වය  නිවැරදිව තක්සේරු කිරීමත්, පද්ධතිය හා ඒකාබද්ධ කර ඇති රක්ෂණ වන්දි තොරතුරු මේ හරහා සැණෙකින් පරීක්ෂා කරගත හැකි වීමත්, පහසුවකි. ඒ අනුව, ක්ෂේත්‍රයේ සමාගම්වලට වඩාත් සාධාරණ හා සමාන රක්ෂණ වාරික ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටත්, එකම අනතුර සඳහා සමාගම් කිහිපයකින් වන්දි ලබා ගැනීම වැනි වංචනික ක්‍රියා වළක්වා ගැනීමටත් හැකි වේ. ශ්‍රී ලංකාව පුරා තවමත් රක්ෂණ පහසුකම් නොලබන ජනතාව මින් හඳුනාගත හැකි බැවින්, ඔවුන්ටද එම පහසුකම් පිරිනැමීමට හැකි වේ. ඒ අනුව, රක්ෂණ ක්ෂේත්‍රයේ, සියලු දෙනා ඇතුළත් මූල්‍ය පද්ධතියක් පවත්වා ගනිමින් ක්ෂේත්‍රයේ පෙර නොවූ විරූ සුවිශාල ව්‍යාප්තියක් අත්පත් කරගැනීමට මග පෑදේ.

    ‍‍මෙම පද්ධතිය රක්ෂණ පාරිභෝගිකයින්ටද වැඩි වාසි අත්කර දෙන්නකි. මේ හරහා පාරිභෝගිකයින්ගේ අනන්‍යතාවය ඩිජිටල් තාක්ෂණය හරහා සනාථ කෙරෙන අතර, සියලු ලේඛන කටයුතු ඩිජිටල් තාක්ෂණය හරහා කඩිනමින් ඉටු කෙරෙන බැවින්, රක්ෂණ ඔප්පු හා වන්දි ලබාගැනීමේදී වඩාත් කාර්යක්ෂම අත්දැකීමක් ඔවුන්ට හිමි වේ. එමෙන්ම, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත නවෝත්පාදන සඳහාද සහය වන පරිදි, මෙම මධ්‍යගත දත්ත පද්ධතියේ, ඩිජිටල් දත්ත විශ්ලේෂණ හා AI පාදක කරගත් විසඳුම් ඇතුළත් නවතම තාක්ෂණයද ඇතුළත් වේ.

    ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), වසර 2000 අංක 43 දරන, රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත මගින් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය නියාමනය, අධීක්ෂණය සහ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ඇති නිල ආයතනයයි. ක්ෂේත්‍රයේ සමාගම්, අවංක මෙන්ම වෘත්තීය මට්ටමෙන් යුත්, විචක්ෂණශීලී සේවාවක් හරහා වත්මන් හා අනාගත රක්ෂණ හිමියන්ගේ අයිතිවාසිකම් හා රක්ෂණ අවශ්‍යතා සුරක්ෂිත කරන බව සහතික කිරීම, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ මූලික අරමුණ හා වගකීමයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ප්‍රමුඛතම කොටස් හිමිකාරීත්වය සහිත, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB), 1990 අංක 18 දරන පනතින් ස්ථාපිත කරන ලද ආයතනයකි. දකුණු ආසියාවේ ප්‍රථම ණය තොරතුරු කාර්යාංශද වන මෙය, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන, ව්‍යවස්ථාපිත ආයතනයකි.