JICA වෙතින් මෙරට තිරසාර ආර්ථික සංවර්ධනයට රු. බිලියන 14.45ක්

    October, 10, 2016

    ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර පසුගියදා ජපාන යෙන් මිලියන 10,000 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 14.45) ණය එකඟතා ගිවිසුමක් අත්සන් තැබිණි.

    මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මහත්මිය සහ JICA උප සභාපති හිඩෙටොෂි ඉරිගකි මහතා මුදල් අමාත්‍යංශයේදී මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

    ලෝක බැංකුවේ ද සම දායකත්වයෙන් සංවර්ධන ප්‍රතිපත්ති ණය (පුද්ගලික අංශය සංවර්ධනය, රාජ්‍ය පාලනය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය දේපළ ඒකාබද්ධ කිරීම) ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබා දීමේ අරමුණින් පිරිනැමේ. පුද්ගලික අංශයේ තරගකාරීත්වයට අදාළ බාධාවන් අවම කිරීම, වඩාත් විනිවිදභාවයෙන් සහ මනා කළමනාකාරිත්වයෙන් යුතු රාජ්‍ය ආයතන ස්ථාපනය කිරීම සහ රජයේ දේපළවල තිරසාරත්වය වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ මූලික අභිලාෂයන් වේ. රජයේ සහ පුද්ගලික අංශයේ ආර්ථික සහ කාර්මික තරගකාරීත්වය සවිබල ගැන්වීම තුළින් ශ්‍රී ලාංකේය තිරසාර ආර්ථික වර්ධනය සඳහා දායකත්වය ලබා දීමට මෙමගින් හැකිවනු ඇති බව අපේක්ෂිතය.

    ආදායම් පාර්ශ්වයට අදාළ අධික බදු සමාලෝපනය කිරීමටත්, අයවැය ක්‍රියාවලියේ වියදම් පාර්ශ්වයේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වර්ධනය කරමින් වියදම් අවම කිරීමටත් වත්මන් රජය ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ රැසක් සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත. මෙරට පුද්ගලික අංශයෙන් ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබා ගැනීම සඳහා සෘජු විදෙස් ආයෝජන ලබා ගැනීම සඳහා ද වත්මන් රජය විශේෂ අවධානය යොමු කර ඇත.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන අතර සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආයතන ඒ සඳහා සිය සහයෝගය ලබා දීමට නියමිතය.

    JICA ණය මෙරටට හිමි වන්නේ 1.4% ක සහනදායී වාර්ෂික පොළී අනුපාතයක් යටතේ වසර 25 ක යළි පියවීමේ සහනදායී කාල සීමාවකට අනුවය.

    තාක්ෂණික සහයෝගීතාව, සහනදායී ණය සහ ආධාර පිරිනමමින් JICA ආයතනය ශ්‍රී ලාංකේය තිරසාර සංවර්ධනය සඳහා අඛණ්ඩව සිය දායකත්වය ලබා දෙයි.

    සේයා රූ සටහන: JICA උප සභාපති හිඩෙටොෂි ඉරිගකි මහතා සහ මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් චන්ද්‍රා ඒකනායක මහත්මිය ගිවිසුමට අත්සන් තබමින්