JLanka වෙතින් ව්‍යාපාර සඳහා දින 7 ක් බලශක්ති නිරීක්ෂණය නොමිලේ

    July, 13, 2016

    ශ‍්‍රී ලංකාවට නවීනතම පුනර්ජනනීය හා සූර්ය බලශක්ති විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමීන් වන JLanka Technologies මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ විශාල පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂ සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මේ යටතේ දින 7 ක් දක්වා එම ව්‍යාපාර ස්ථානවල බලශක්ති පරිභෝජනය නොමිලේ නිරීක්ෂණය කෙරෙනු ඇති අතර, මෙය බලශක්තිය අපතේ යාම අඩු කරගෙන, අහිතකර වායු විමෝචනය අවම කරමින්, තිරසාරත්වය ළඟා කරගැනීම සඳහා එම සමාගම්වලට මග පෙන්වනු ඇත.

    මේ නව ‘හරිත වැඩසටහන’ දියත් කරන ලද්දේ Inco 2016 ප‍්‍රදර්ශනයට සමගාමීව ය. ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය මෙරට ප‍්‍රමුඛතම කාර්මික හා වෙළඳ ප‍්‍රදර්ශනය ලෙස සැලකේ. මෙවර එම ප‍්‍රදර්ශනය 2016 ජූනි මස 24 දින සිට 26 දින දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදි. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ කාර්මාන්තවලට, නිෂ්පාදකයන්ට, ඉංජිනේරු සමාගම්වලට, ආනයන හා අපනයන කරුවන්ට, සහ සේවා සම්පාදාකයන්ට තම නිෂ්පාදන හා සේවා එකම ස්ථානයකදී ප‍්‍රදර්ශනය කරමින් පුළුල් පාරිභෝගික ප‍්‍රජාවක් වෙත සමීප වීම සඳහා මෙම ප‍්‍රදර්ශනය අවස්ථාව සලසා දෙයි.

    මෙහිදී අදහස් දැක්වූ JLanka සමාගමේ අලෙවි කළමනාකරු වන ශ‍්‍රීනාත් දොලගේ මහතා පැවසුවේ බලශක්ති වියදම් යනු වර්තමාන ලෝකයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර මුහුණදෙන බරපතළ අභියෝගයක් බවයි. කෙසේ වුවත් අපතේ යාම් අවම කරමින්, බලශක්ති භාවිතය කාර්යක්ෂම කරමින් වියදම් අවම කිරීම සඳහා ඉංජිනේරු විසඳුම් මේ වනවිට නිර්මාණය වී ඇත. ඇත්ත වශයෙන්ම මෙසේ අපතේ යාම් අවම කරමින් කාර්යක්ෂමතාව ඉහළ නංවාගැනීමට නම්, බලශක්ති භාවිතය නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වෙයි. මෙම අවශ්‍යතාව හඳුනාගත් JLanka සමාගම, මෙරට ව්‍යාපාරවලට බලශක්ති කාර්යක්ෂමතා ඉලක්ක ළඟා කරගැනීම සඳහා මනා විසඳුමක් සැපයීමට ඉදිරිපත් වී සිටී.

    ඒ අනුව මෙම නව වැඩසටහන යටතේ ව්‍යාපාර ස්ථානවල බලශක්තිය අපතේ යන ආකාරය සහ එය වළක්වාගනිමින් බලශක්තියෙන් උපරිම ප‍්‍රයෝජන ලබාගන්නා ආකාරය හඳුනාගැනීමේ මූලික පියවරක් ලෙස දින 7 ක් දක්වා නොමිලේ බලශක්ති භාවිතය නිරීක්ෂණය කිරීමට කටයුතු යොදනු ඇත. මෙම දීමනාව 2016 අගෝස්තු 31 දක්වා වලංගු වන අතර Inco 2016 ප‍්‍රදර්ශනයේදී JLanka සමාගම සමග ලියාපදිංචි වූ, පරිසර හිතකාමී නිෂ්පාදන නිපදවන හෝ පරිසර හිතකාමී ආකාරයට මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන මුල් සමාගම් 25 ටද මේ සඳහා අවස්ථාව හිමි වේ. මීට අමතරව මෙම සමාගම්වල කාර්ය මණ්ඩල සඳහා බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම මගින් නිෂ්පාදනය ඉහළ නංවාගන්නා ආකාරය සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඕනෑම ස්ථානයක සූර්ය බලශක්ති පද්ධතියක් (සේවාව සහිතව* සවිකිරීමේ හැකියාව හඳුනාගැනීම සඳහා නොමිලේ ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවක්ද ලබාදෙනු ඇත.

    වර්තමානය වනවිට ශ‍්‍රී ලංකාවේ වැඩිම සූර්ය බලශක්ති පද්ධති ප‍්‍රමාණයක් සවිකර ඇති සමාගම වන්නේ JLanka සමාගමයි. එම පද්ධතිවල සමස්ත ධාරිතාව මෙගාවොට් 7.5 ඉක්මවන අතර, ළඟදීම මෙය මෙගාවොට් 10 සීමාවට ළඟාවනු ඇත. එමෙන්ම ජාතික විදුලිබල පද්ධතියට වැඩිම සූර්ය බලශක්ති ප‍්‍රමාණයක් එක්කරන සමාගම වන JLanka Technologies සමාගම එසේ ජාතික විදුලිබල පද්ධතියට දිනකට එක් කරන බලශක්ති ප‍්‍රමාණය කිලෝවොට් පැය 25,000 කි. Trina සූර්ය මොඩියුල 26,000 ක්, SolarEdge සූර්ය මොඩියුල 24,000 ක් සහ SolarEdge ඉන්වර්ටර් 1,500 ක් සමගින් එය දිනකට හරිතාගාර වායු කිලෝග‍්‍රෑම් 11,000 ක් පමණ වායුගෝලයට එක්වීම වළක්වාලයි.