August, 15, 2014
KIA මෝටර්ස් ලංකා සමාගමට අයත් වාහන අමතර කොටස් ගබඩාවක් ගිනි ගැනීම නිසා සිදුවූ දැඩි හානිය හේතුවෙන් මෙරට KIA වාහන සඳහා අමතර කොටස් හිඟයක් ඇතිවුවත් එය ඉක්මනින්ම යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව KIA මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා අප සමග සඳහන් කළේය.
කොළඹ යුනියන් පෙදෙසේ අංක 297 ස්ථානයේ KIA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයට අනුබද්ධව පිහිටි මෙම අමතර කොටස් ගබඩාව ගිනිබත් වූයේ පසුගිය සඳුදායි. (11)
මේ වනවිට, පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන නිසා සිදුවූ හානියේ මූල්‍ය පාඩුව තවමත් සඳහන් කළ නොහැකි නමුත් විශාල පාඩුවක් සිදුව ඇතැයි ප්‍රකාශ කළ හැකිබව තම්බයියා මහතා අප සමග සඳහන් කළේය.
“මෙම ගින්න නිසා වාහන අමතර කොටස් රැසක්ම විනාශ වෙලා තිබෙනවා. අපි සතුව තවත් අමතර කොටස් ගබඩාවක් තිබුණත් සමහර අමතර කොටස්වල හිඟයක් ඇතිවෙන්න පුළුවන්. නමුත්, අපි ගුවන් මගින් ඒවා ඉක්මනින්ම ගෙනවිත් එම හිඟය පියවීමට කටයුතු කරනවා.“
යනුවෙන් මහේන් තම්බයියා මහතා පැවසීය.
සමාගම විසින් දැනුම් දී තිබෙන්නේ සිදුවූ හානිය වෙනුවෙන් රක්ෂණ වන්දි ලබාගැනීමට කටයුතු කරන බවයි.
Video Story