KOICA ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක්

    April, 29, 2025

    වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු, වෙළෙඳ බදු සහ මුද්දර ගාස්තු යන ප්‍රධාන ආදායම් ප්‍රභව 04 මඟින් කොළඹ මහ නගර සභාව ඉහළ ආදායමක් උත්පාදනය කරනු ලබයි.

    එම ආදායම් ප්‍රභව 04 ස්වයංක්‍රීයකරණය කිරීමෙන් සමස්ත ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

    ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක ආධාර මුදලක් ලබා දීමට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය එකඟතාව පළ කර තිබේ.

    එකී එකඟතාව පිළිබඳව සම්මුතිය සඳහා නීතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංයේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලබා ගෙන ඇත.

    ඒ අනුව, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය විසින් ලබා දෙන ආධාර උපයෝගි කර ගනිමින් කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන එකඟතාව පිළිබඳව සම්මුතියට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.