LankaGPT සිය විප්ලවීය ‘සීගිරිය AI’ යෙදුම 2024 ජූලි මාසයේදී එළිදැක්වීමට සූදානම් වෙයි

    May, 28, 2024

    ව්‍යවසායකත්වය පිළිබඳ සුවිශේෂී  පරිවර්තනයක් සිදුකරමින් කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත  වෙමින් පවතින යුගයක  LankaGPT විසින්  'සීගිරිය AI' යෙදුම හඳුන්වාදීමට සැලසුම් කර තිබේ. මෙම යෙදුම ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ ඩුබායි ආදී රටවල් කිහිපයක සිටින සාමාජිකයන්  30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින්  සකස් කර ඇති අතර එය මෙම වසරේ ජූලි මාසයේදී පරිශීලකයන් වෙත හඳුන්වාදීමට සැලසුම් කර ඇත. 'සීගිරිය AI' යනු ශ්‍රී ලාංකිකයන් විසින් දේශීය සහ විදේශීය පරිශීලකයන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ප්‍රථම GPT යෙදුම බැවින් එය ඉතා සුවිශේෂී අවස්ථාවක් වේ.

    මෙහි මුල් පිටපත සිංහල සහ දමිළ භාෂා යන භාෂා ද්විත්වය සඳහාම සහය ලබාදීම වෙනුවෙන්  නිර්මාණය කර ඇති අතර විවිධ උපභාෂා, ප්‍රාදේශීය භාෂා සහ උච්චාරණ ක්‍රමවේදයන් ද ඊට ඇතුළත් කර තිබේ. මෙය නිර්මාණය කිරීමේදී අධ්‍යයන ආයතන රැසක දායකත්වය සහිතව සංවර්ධනය කරන ලද සිංහල භාෂාව පිළිබඳ දත්ත කට්ටල බිලියන 10ක් සහ දමිළ භාෂාව පිළිබඳ දත්ත කට්ටල බිලියන 10ක් ඇතුළු දත්ත රැසක් උපයෝගි කරගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ මෙන්ම මැදපෙරදිග, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි  ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ජීවත් වන රටවල්  වෙත ද මෙම යෙදුම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල් ඇතුළුව දමිළ භාෂාව බහුලව භාවිතා කරන  ප්‍රජාවන්ට ද මෙය වෙත ප්‍රවේශවීමේ අවස්ථාව සැලසීමට ද සැලසුම් කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් LankaGPT හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ලසිත ගුණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. "ආර්ථික සහ සමාජීය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා AI තාක්ෂණය ඔස්සේ ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව අපි LankaGPT හි දී අවබෝධ කර ගත්තා. එබැවින්  නවෝත්පාදනයන් මෙහෙයවීම, ප්‍රජාව සවිබල ගැන්වීම සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම සඳහා අපගේ දායකත්වය ලබාදීමේ පරමාර්ථය සහිතව අපි අධ්‍යාපන, කෘෂිකර්මාන්ත සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා මෙම මෙවලම නොමිලේ ලබා දීමට කැපවී සිටිනවා.   ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන්  දායක වන තීරණාත්මක ක්ෂේත්‍රවලට සහාය වීමට තාක්‍ෂණය උපයෝගී කර ගැනීමේ  අවශ්‍යතාවය 'සීගිරිය AI' මඟින් අවධාරණය කරනවා. නොමිලේ AI වෙත  ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීම, සමාජය තුළ දිගුකාලීන ධනාත්මක බලපෑමක් සිදුකිරීමට ඉවහල් වේ යැයි  අපි  විශ්වාස කරනවා.  "

    'සීගිරිය AI' මෙවලම දියත් කිරීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් ලෙසද හැඳින්විය හැකි අතර එමඟින් ගෝලීය මට්ටමෙන් තරඟ කිරීම සඳහා LankaGPT සතු හැකියාව ද මැනවින් ප්‍රදර්ශනය කරනු ඇත. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වෙනුවෙන්  ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ අභිවෘද්ධිය සහ යහපැවැත්ම සඳහා නිරන්තරයෙන්  කැපවී සිටින ස්වෙච්ඡා සංවිධාන රැසකගේ සහයෝගය ද හිමිවිය.