LTL Holdings මූලික කොටස් නිකුතුව යළි දැනුම් දෙන තුරු කල් යයි

    October, 4, 2024

    ශ්‍රී ලංකාවේ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව ලෙසින් නිවේදනය කෙරුණු LTL Holdings Limited හි මහජන කොටස් නිකුතුව, විවෘත කෙරෙන දිනය යළි දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

    2024 අගෝස්තු 10 වන දින මෙම මූලික කොටස් නිකුතුව විවෘත කිරීමට නියමිතව තිබුණ ද අවස්ථා තුනක දී එම දිනය මීට පෙර වෙනස් විය.

    මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු කටයුත්තක් හේතුවෙන් මෙම මහජන කොටස් නිකුතුවේ කටයුතු ඉදිරියට කර ගෙන නොයන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කර තිබේ.

    ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කෙරෙන දිනය දින නියමයකින් තොරව කල් ගොස් ඇත.

    මෙය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන අතර එහිදී, රු, බිලියන 16 ක වටිනාකමකින් යුත් මෙම කොටස් නිකුතුව යටතේ, කොටසක් රු. 14.50 බැගින් නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,379,310,400 ක් නිකුත් කෙරෙනු ඇති අතර, අවශ්‍ය නම් මෙය රු. බිලියන 20 දක්වා වැඩිකර ගැනීම සඳහා Greenshoe විකල්පය ද සහිතව කොටස් නිකුතුව සැලසුම්කර ඇත. 

    මෙම කොටස් නිකුතුවේ ආයෝජනයෙන්  රු. බිලියන 13.5 ක්, ශ්‍රී ලංකාවේ ඉදිවන දෙවැනි LNG බලාගාරයවන කෙරවළපිටිය (Sahasdhanavi Ltd) මෙගාවොට් 350 ඒකාබද්ධ-චක්‍ර බලාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය සමස්ත ආයෝජනයෙන් කොටසක් ලෙස භාවිතා වනු ඇත. මීට අමතරව මෙම අරමුදල්වලින් රු. බිලියන 6.0 ක්, මෙගාවොට් 100 ව්‍යාපෘතියක්වන සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ (Rividhanavi (Pvt) Ltd) කොටස් ප්‍රාග්ධනයේ  ආයෝජනය කෙරේ.

    ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ නේපාලය යන රටවල LTL සමූහයේ බලශක්ති නිෂ්පාදන ධාරිතාව මෙගාවොට් 894 ක්වන අතර, ඉදිරියේදී තවත් මෙගාවොට් 450 ක ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිත ය. මේ ඔස්සේ ඉදිරියේදී මෙගාවොට් 1,000 ඉක්මවූ ධාරිතාවක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදකයා බවට පත්වීමට LTL සමූහය සමත් වනු ඇත. ඒ අනුව එය කොළඹ කොටස් වෙළඳපොළේ ලියාපදිංචිවන විශාලතම ස්වාධීන බලශක්ති නිෂ්පාදන සමූහය බවට මෙය පත් වේ.