Macksons Solar, ශ්‍රී ලංකාවේ විශාලතම වහල මත ස්ථාපිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සමඟින් බලශක්ති ක්ෂේත්‍රයේ නව මානයන් විවර කරයි

    November, 20, 2025

    Macksons Solar, Macktiles සමඟ එක්ව ශ්‍රී ලංකාවේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දක්වමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. බණ්ඩාරගම Macktiles Lanka (Pvt) Ltd කර්මාන්තශාලා සංකීර්ණයේදී එම එළිදැක්වීම සිදු කරන ලදී.

    megawatt 10ක බලශක්ති සැපයුමක් ලෙස ස්ථාපනය කරන ලද මේ සඳහා ඉහළ කාර්යක්ෂමතාවක් සහිත සූර්ය පැනල් 18,000 කට අධික ප්‍රමාණයක් යොදා ගෙන ඇති අතර එය උසස් තත්වයේ ඉන්වර්ටර් පද්ධති සහ අති නවීන අධීක්ෂණ තාක්ෂණයෙන්ද සමන්විත වේ.

    මේ තුලින් වාර්ෂිකව GWh පැය 12ක පුනර්ජනනීය බල ශක්ති ප්‍රමාණයක් ජනනය කිරීමට අපේක්ෂිතය. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ වාර්ෂික කාබන් විමෝචනය ටොන් 8,000කින් අවම කිරීමයි.

    Macktiles නිෂ්පාදන කාර්මාන්තශාලාවේ වහලය පුරා පැතිරී ඇති megawatt 10ක සූර්ය බල පද්ධතිය තුලින් කර්මාන්ත ශාලාවට සෘජුවම පුනර්ජනනීය බලශක්තිය සපයනු ලබයි. එහිදී තිරසාර ජාතික බල ශක්ති ජාලයකට අවශ්‍ය ශක්තිය ලබා දීම වෙනුවෙන් අතිරික්ත විදුලිය බෙදා හැරීමට කටයුතු කර ඇත්තේ ජාතික බල ශක්ති ජාලය මතයැපීමද සැලකිය යුතු ලෙස අවම කරමිනි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Macksons Solar හි ප්‍රධාන විධායක නිලධාරී සජාඩ් සලිහීන් මහතා සඳහන් කර සිටියේ " මෙම ව්‍යාපෘතියේ විශාලත්වය පමණක් නොව එහි දැක්ම, නවෝත්පාදනය සහ වගකීම යන සියලු දේ ඉතා විශේෂයි. මෙම ව්‍යාපෘතිය තුලින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය භාවිතය සඳහා පරිවර්තනය කිරීමට නායකත්වය ලබා දීම සඳහා Macktiles සමඟ එක්වීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. megawatt 10ක බලශක්ති ස්ථාපනයක් හරහා මහා පරිමාණ කර්මාන්තයන්හි ඵලදායීතාවට හෝ ලාභදායීත්වයට බාධාවක් නොවී තිරසාර භාවිතයන් යොදා ගත හැකි ආකාරය මනාව පෙන්වා දෙනවා '' යනුවෙනි.

    මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දැයට දායාද කිරීමේ උත්සවය සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර කම්කරු අමාත්‍ය හා මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය එම්. අයි. එම්. අර්කම්, කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන පද්මකුමාර සහ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ජයසේන රුද්‍රිගු යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් ද එක්ව සිටියහ.

    මෙවන් ව්‍යාපෘති හරහා තිරසාර නිෂ්පාදනයේ නව මානයන් විවර කිරීමට අඛණ්ඩව කටයුතු කරන Macktiles මේ තුලින් පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීමට සුවිසල් ශක්තියක් එක් කරනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ Macktiles Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ මිස්වර් මකින් මහතා '' සාර්ථකත්වය හා තිරසාර භාවය එකිනෙකට සම්බන්ධව ඉදිරියට යා යුතු බව Macktiles ආයතනය නිරන්තරයෙන් විශ්වාස කරනවා. වගකීම් සහගත වර්ධනයක් හා පිරිසිදු බල ශක්තියක් වෙනුවෙන් අපගේ කැපවීම ප්‍රදර්ශනය කරන කදිම සාක්ෂියක් ලෙස මෙම megawatt 10ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතිය සඳහන් කළ හැකියි. Macksons Solar සමඟ එක් වීම තුලින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිසල් ඉදිරි පියවරක් තැබීමට අපට හැකියාව උදා වුණා. යනුවෙන් පැවසීය.

    පුනර්ජනනීය බල ශක්තිය යොදා ගැනීමේ නව්‍ය තාක්ෂණය සම්බන්ධ ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළ Macksons Solar හි අභ්‍යන්තර තාක්ෂණික කණ්ඩායම විසින් මෙම ව්‍යාපෘතියේ සම්පුර්ණ සැලසුම නිර්මාණය කරමින් ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබීය. එහෙයින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුනර්ජනනීය බල ශක්ති යටිතල පහසුකම් සැපයීම සඳහා සමාගමට ඇති හැකියාව පිළිබඳ කදිම සාක්ෂියක් ලෙසද මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් වනු ඇත.

    මෙම ව්‍යාපෘතිය එලි දැක්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්ති කර්මාන්තයේ ප්‍රමුඛයකු ලෙස තම ස්ථාවරත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට සමත්ව සිටින Macksons Solar 2030 වන විට මෙරට පුනර්ජනනීය බල ශක්ති ඉලක්කයන්ගෙන් 70% ක් සපුරා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට අපේක්ෂා කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සලිහීන් මහතා '' නවෝත්පාදනයන් තුලින් සිදු කළ හැකි දේ මෙම megawatt 10ක ව්‍යාපෘතිය තුලින් ප්‍රදර්ශනය වනවා. එය අපගේ ආයතනික කණ්ඩායම් දෙකටම ඉතා සුවිශේෂී අවස්ථාවක් වන අතරම ශ්‍රී ලංකාවේ හරිත, බලශක්ති සුරක්ෂිතතාව සඳහා දැවැන්ත ඉදිරි පියවරක් ලෙසද සඳහන් කළ හැකියි." යනුවෙන්ද පැවසීය.

    ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා (මැද), Macktiles Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ මිස්වර් මකින් මහතා (දකුණු පස) සහ Macksons Holdings හි සභාපති මිල්ෆර් මකින් මහතා (වම්පස කෙළවර) ඡායාරූපයේ වේ

     

    ඡායාරූප විස්තරය - බණ්ඩාරගම Macktiles Lanka (Pvt) Ltd කර්මාන්තශාලාවේ ඇති ශ්‍රී ලංකාවේ විශාලතම වහලය මත ස්ථාපිතසූර්ය බල ශක්ති පද්ධතිය