MegaPay හි Pay&Go දැන් LECO සමග ඒකාබද්ධ කර, ශ්‍රී ලංකාව පුරාම විදුලි බිල්පත් ‌ගෙවීමේ ඩිජිටල් පරිවර්තනය සිදුකරයි 

    April, 25, 2025

    දිවයින පුරාම ක්‍රියාත්මක ඩිජිටල් kiosks යන්ත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් සහ පරිශීලකයින්ගේ පහසුව සඳහාම සකස් කර ඇති ජනප්‍රිය මොබයිල් App එකක් සමඟින් MegaPay හි Pay&Go, ශ්‍රී ලංකාව පුරාම ඩිජිටල් මුදල් ගෙවීම් ක්‍රමවේදයන්හි සුවිශාලපෙරළියක් සිදු කරයි. Pay&Go මොබයිල් App එක මඟින් දැන් පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමේ සිට ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීම දක්වාම සියලු ඩිජිටල් ගෙවීම් ඒ හරහා සිදුකිරීමට අවකාශ සලසා තිබේ.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුදල් ගෙවීම් ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරමින්, මූල්‍ය තාක්‍ෂණයේ අනාගත ගමන්මග සකස් කරන MegaPay, සිය ප්‍රමුඛතම ඩිජිටල් මුදල් ගෙවීමේ විසඳුම වන Pay&Go, දැන් ලංකා විදුලි සමාගම (LECO) සමග ඒකාබද්ධ කර භාවිත කිරීම සඳහා සුවිශේෂී සහයෝගිතාවයට එළඹුණු බව දැනුම් දී තිබේ. මෙම සහයෝගිතාවය තුළින්, Pay&Go මොබයිල් App එක මෙන්ම, kiosks යන්ත්‍ර භාවිතා කරන පාරිභෝගිකයින්ට සිය  විදුලි බිල්පත්වල ශේෂය බලාගැනීමටත්, ගෙවීම් සිදුකර එසැණෙන් ඒ පිළිබඳ තහවුරු කරගැනීමටත් හැකියාව පැවතීම හේතුවෙන් කිසිදු බාධාවකින් තොර, විනිවිද පෙනෙන ඩිජිටල් මුදල් ගෙවීමේ අත්දැකීමක් හිමි වේ.

    බිල්පත් ගෙවීමේ ක්‍රමවේදය මෙම පරිවර්තනීය නවතම ඩිජිටල් විසඳුම තුළින් මෙලෙස වඩාත් කාර්යක්ෂම කරන අතර, Pay&Go තාක්‍ෂණය ඒකාබද්ධ කිරීමෙන් පරිශීලකයින්ට දැන්ගෙවීම් පිළීබඳව ඒ මොහොතේම බලාගැනීමට මෙන්ම, ගෙවීම් පිළිබඳව තහවුරු කරගැනීමට අවකාශ සැලසෙන බැවින්, එමඟින් මුදල් ගෙවීම් සම්බන්ධ අඩුපාඩු හා ප්‍රමාදදෝෂයන්ද සැලකිය යුතු ලෙස අඩු කෙරේ.

    මෙම ඩිජිටල් පරිවර්තනය සඳහා බිම් මට්ටමේ පහසුකම් ලබාගැනී‌මේ අරමුණ ඇතිව Pay&Go, ලංකා විදුලිබල සමාගමේ (LECO) තෝරාගත් සේවා ස්ථානවල විශේෂිත kiosks යන්ත්‍ර සවි කිරීමටද සැලසුම් කර ති‌බේ. මෙම යන්ත්‍ර, ඩිජිටල් මුල්‍ය ගනුදෙනු සිදුකිරීමට කැමති පාරිභෝගිකයින්ට වඩාත් පහසු මෙන්ම කාර්යක්ෂම විකල්පයක් වන අතර, ඒ හරහා වඩාත් පුළුල් හා අන්තර්තරණයෙන් යුත් ඩිජිටල් අත්දැකීමක් වෙත ඔවුන්ට  පිවිසිය හැක.

    “මෙම සහයෝගීතාවය, පාරිභෝගිකයින්ගේ ඩිජිටල් මුදල් ගෙවීම වඩාත් වේගවත්, පහසු හා ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකි අත්දැකීමක් බවට පත් කීරීමේ අපගේ මෙහෙවරට සාක්ෂියක්.” යනුවෙන් Pay&Go හි අධ්‍යක්ෂ වර්ධන් අස්ලිබෙක්යාන් මහතා පැවසීය. “දිවයින පුරාම පුරවැසියන්ගේ එදිනෙදා ජීවන අත්දැකීම් ඉහළ නංවමින්, මෙරට විදුලි බිල්පත් ගෙවීම් සම්බන්ධ පරිවර්තනය සිදු කිරීමට LECO සමඟ අත්වැල් බැඳගැනිමට හැකිවීම අපට ආඩම්බරයට කාරණයක්.” ඔහු වැඩිදුරටත් පැවැසීය.

    මෙම නවතම ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වමින් LECO හි සභාපති ඉංජිනේරු ජානක අලුත්ගේ මහතා සඳහන් කළේ මෙසේයි. මෙම නවතම විසඳුම, අපගේ පාරිභෝගිකයින් වෙත අඛණ්ඩ ප්‍රතිලාභ සැලසීම උදෙසා, අපගේ මෙහෙයුම් කටයුතු නවීකරණය කිරීමට වගේම, විදුලි බිල්පත් ගෙවිම් ඩිජිටල්කරණය කිරීමට LECO අඛණ්ඩව දක්වන කැපවීමට තවදුරටත් සහය දක්වන විසඳුමක්. Pay&Go හි තාක්ෂණය සමඟින්, පාරිභෝගිකයින් වෙත වැඩි පහසුවකින්, වේගවත්ව වඩාත් ඉහළ සේවා සැලසීමට අපට හැකියාව පවතිනවා.”

    මේ පිළිබඳව අදහස් දක්වමින්, LECO හි සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා මෙසේ පැවසීය, “ඩිජිටල්කරණය ප්‍රධාන ව්‍යාපාරික ක්‍රමවේදයක් බවට පත්ව ඇති යුගයක, අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් සිදුකරන ඩිජිටල් ගෙවීම් පූර්ණ විනිවිදභාවයකින් යුතුව ‌සිදුකරගත හැකි පරිදි, LECO‌ හි වෙබ් අඩවිය සමග Pay&Go ඒකාබද්ධ කර තිබීම LECO අපට සතුටට කාරණයක්.”

    මෙම ක්‍රමවේදය මගින් පිළිබිඹු කෙරෙන්නේ, ශ්‍රී ලාංකිකයින් රාජ්‍ය හා ගනුදෙනු කරන ආකාරයේ පරිවර්තනීය වෙනසක් සිදුකිරීම සඳහා Pay&Go දක්වන පුළුල් කැපවීමයි. ඒ සමගින් රාජ්‍ය අංශයේ සේවාවන් අඛණ්ඩව ඒකාබද්ධ කිරීමේ ප්‍රයත්නයන් සමගින් Pay&Go මෙරට ඩිජිටල්කරණයෙහි පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් සැරසෙයි. එම ප්‍රයත්නයෙහිලා, පාරිභෝගිකයින්ගේ බිල්පත් ගෙවීමේ අත්දැකීම, තවදුරටත් කරදර ගෙනදෙන අත්දැකීමක් නොවී, ඔවුන්ට වඩාත් පහසු මෙන්ම සම්බන්ධතාවයෙන් පිරිපුන් අත්දැකීමක් වනු ඇත.

    ඩිජිටල් ක්‍රමවේදයෙන් බාධාවකින් තොර බිල්පත් ගෙවීම් සඳහා Google Play හෝ App Store හරහා Pay&Go Sri Lanka app එක ඩවුන්ලෝඩ් කරගත හැකියි. පාරිභෝගිකයින්ට ආසන්නයෙන්ම ඇති kiosks යන්ත්‍ර පිහිටි ස්ථාන පිළිබඳ දැනගැනීමට www.paygo.lk වෙත පිවිසෙන්න.