Melsta රෝහල් සමූහය, ශ්‍රී ලාංකිකයින්ට දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවාවක් ලබා දෙමින් JCI රන් සම්මානයෙන් පිදුම් ලබයි

    January, 13, 2026

    Melsta රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජාත්‍යන්තර ඒකාබද්ධ කොමිසමේ (Joint Commission International - JCI) 8 වන සංස්කරණයේ ප්‍රමිතීන්ට අනුකූලව පිළිගැනීම දිනාගත් මෙරට ප්‍රථම රෝහල බවට පත්විය. මෙම ඇගයීම රෝගීන්ගේ ආරක්ෂාව, සායනික ගුණාත්මකභාවය සහ අඛණ්ඩ දියුණුව වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් මිණුම් වලට අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් හිමිව ඇත. මෙමගින් මෙරට ජනතාවට දැරිය හැකි මුදලකට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍ය සේවාවක් ලබාදීමට Melsta රෝහල් සමූහය සතු කැපවීම යළිත් තහවුරු වේ.

    ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත්, ලොව පිළිගත් ආයතනයක් වන JCI, රෝහලක රෝගී සත්කාරක ක්‍රියාවලිය, ආරක්ෂාව මෙන්ම ආයතනික පාලනය සහ ගුණාත්මක කළමනාකරණ පද්ධති පිළිබඳ දැඩි පරීක්ෂාවකින් අනතුරුව මෙම සහතිකය පිරිනමනු ලබයි. මෙම සහතික කිරීම හරහා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලැබෙන සේවාව, අවදානම් අවම කරන ලද සහ විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ සිදුවන බවට විශ්වාසයක් ගොඩනගනු ලබයි.

    මෙම ජයග්‍රහණය Melsta රෝහල් සමූහය විසින් වසර ගණනාවක් පුරා සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා දියත් කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. Melstacorp PLC යටතට පත්වීමෙන් පසු, රෝහල සිය සායනික පාලනය ශක්තිමත් කරමින්, ආරක්ෂිත පියවරයන් ඉහළ නංවා, සියලුම අංශ හරහා වගකීම් සහගත කාර්ය මණ්ඩල සංස්කෘතියක් නිර්මාණය කිරීමට සමත් විය.

    මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Melsta රෝහල් සමූහයේ සභාපති සහ Melstacorp PLC සමූහයේ නියෝජ්‍ය සභාපති රෝයල් ජෑන්ස් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, "Melsta රෝහල් සමූහයෙහි කාර්ය මණ්ඩලය මෙම සුවිශේෂී ජයග්‍රහණය කරා මෙහෙයවීමට ලැබීම විශාල ආඩම්බරයක් බවයි. 2020 වසරේදී අප මෙම රෝහල භාරගත් දින සිට, රෝගීන්ට සේවය කරමින් සහ ජාතික ප්‍රමුඛතාවයන්ට සහාය වෙමින් සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස අපේ වගකීම මැනවින් ඉටු කිරීමට අප සමත්ව තිබෙනවා."

    Melsta රෝහල් සමූහයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරයිවන් මහතා ද මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "අපගේ මෙම ගමන ආරම්භ වූයේ ISO ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවය අඛණ්ඩව දියුණු කිරීමේ දැඩි අරමුණ ඇතිවයි. ISO 9001:2015 සහතිකය මෙරටදී ප්‍රථමයෙන්ම දිනාගත් රෝහල වන්නේ අපගේ මෙම රෝහල් සමූහයයි. JCI 8 වන සංස්කරණ ප්‍රමිතිය යටතේ අපට හිමිවූ මෙම අවස්ථාව අපගේ කණ්ඩායම ලද විශාල ජයග්‍රහණයක්. ගම්පහ, කොළඹ මෙන්ම ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට සහනදායී මිලකට ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සැපයීම අපගේ මූලික අරමුණ වන බවයි.

    ඉදිරි‍යේ දී සිය සේවාවන් සහ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමටත්, නවීන තාක්ෂණයන් හඳුන්වා දෙමින් යටිතල පහසුකම් පුළුල් කිරීමටත් Melsta රෝහල් සමූහය සැලසුම් කර ඇත. මීට අමතරව, 'වෛද්‍ය සංචාරක' (Medical Tourism) ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර රෝගීන්ද මෙරටට ගෙන්වා ගැනීම මගින්, විදේශ විනිමය උත්පාදනය කිරීමට ද රෝහල අපේක්ෂා කරයි.