MyDeal.lk සහ MyStore.lk සමඟ Bata නව පියවරක් තබයි

    March, 17, 2016

    මෙරට ප්‍රමුඛතම පාවහන් නිපැයුම්කරුකු සහ අලෙවිකරුකු වන බාටා සියළු දෙනාටම අගනා පාවහන් සැපයීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සුවිශේෂි පියවරක් තබයි. ඒ මෙරට ප්‍රධානතම අන්තර්ජාල අලෙවිසැල් වන MyDeal.lk සහ MyStore.lk සමඟ එක්වීමෙනි. මෙම ක්‍රමෝපාය සබඳතාව අනුව අන්තර්ජාලය ඔස්සේ බාටා නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසෙයි.

    වර්ෂ 1894 චෙකොස්ලෝවැකියාවේ ඇරඹි බාටා මේ වනවිට ලොව පුළුල් ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වු අලෙවි ජාලයක් සහිත ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයා වෙයි. බාටා මහද්වීප 5ක් පුරා රටවල් 70 ක ට සිය නිෂ්පාදන අලෙවි කරයි.50000 කට අධික සේවක පිරිසක් සහ නිෂ්පාදන ඒකක 27 කින්ද සමන්විත බාටා ලොව පුරා අලෙවි සැල් 5000ක් පමණ පවත්වාගෙන යයි. එම අලෙවිසැල් මඟින් දිනකට මිලියනයක පමණ පාරිභෝගික පිරිසට සේවය සපයයි. මෙරට ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ ආවරණය කරමින් බාටා අලෙවිසැල් 68ක් පිහිටුවා තිබේ.

    MyDeal.lk මෙරට ප්‍රමුඛතම අන්තර්ජාල අලෙවිසැල වන අතර වසර 4කට අධික කාලයක් පාරිභෝගිකයින්ට වට්ටම් පිරිනමමින් සිය සේවා පවත්වාගෙන යයි. දිනකට 12000 කට අධික පිරිසක් www.mydeal.lk වෙබ් අඩවියට පිවිසෙන අතර එහි ෆේස්බුක් පිටුවේ පේජ් ලයික්ස් ප්‍රමාණය 195000 කි. mystore.lk හා ඒකාබද්ධව විවිධ භාණ්ඩ රැසක් ඉදිරිපත් කරමින් ආවේණික වු ප්‍රවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ අන්තර්ජාල පාරිභෝගික ජාලය ශක්තිමත් කරයි.

    MyDeal.lk සහ MyStore.lk සමඟ Bata එකඟතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු අදහස් දැක්වු බාටා සිලෝන් පාවහන් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අමිතාව් නන්ඩේ සඳහන් කළේ ප්‍රකට ගෘහස්ථ වෙළඳ නාමයක් වන බාටා ශ්‍රී ලාංකික ජනතාව අතර පිළිගත් ප්‍රමුඛ පාවහන් වෙළඳ නාමයක් බවයි. එම පිළිගැනීම සහ විශ්වාසය නිසාම මේ වනවිට බාටා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ද හෙතෙම පැවසීය. එවන් පසුබිමක නව අලෙවි නාලිකාවක් අන්තර්ජාලය හරහා විවරවීමෙන් තව දුරටත් පාරිභෝගිකයින් වෙත බාටා නිෂ්පාදන සමීප කරවිය හැකි බව ද අමිතාඩ් නන්ඩේ මහතා පැවසීය. MyDeal.lk සහ MyStore.lk සමඟ ඇතිකරගත් නව එකඟතාවට අනුව පෙරට වඩා පහසුවෙන් පාරිභෝගිකයින්ට සිය නිෂ්පාදන වෙත සමීප වීමට අවස්ථාව සැලසෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

    MyDeal.lk හි කළමණාකාර අධ්‍යක්ෂ දමිත ගිනිගද්දරගේ මහතා අදහස් දක්වමින් පැවසුවේ කීර්තිමත් වෙළඳ නාමයක් වන බාටා සමඟ ඒකාබද්ධ වීමට ලැබීම මහත් ගෞරවයක් ලෙස සලකන බවයි. අන්තර්ජාල අලෙවිය සම්බන්ධයෙන් බාටා දැක්වු උනන්දුව මෙහිදී අගය කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය. MyDeal.lk සහ MyStore.lk සමඟ එක්වීමෙන් බාටා පාරිභෝගිකයින්ට සුවිශේෂි වරප්‍රසාද රැසක් හිමිවන බවත් ගෙවීමේ ක්‍රම 12ක් සහිත නිසා මිලදී ගැනීම ඉතා පහසු බවද ඒ මහතා කීය.මේ අනුව අවශ්‍ය බාටා නිෂ්පාදන නිවසේ හෝ කාර්යාලයේ සිට ඇණවුම් කර තමන් සිටින ස්ථානයට ගෙන්වා ගැනීමට ඇති පහසුව ද මෙරට පාරිභෝගිකයින්ට සහනයක් වනු ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.