February, 9, 2026
ශ‍්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයට බලපෑම් සහගත දායකත්වයක් ලබා දෙන ආයතනයක් ලෙස තම ඉදිරි ගමනට සහාය වීම සඳහා, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය, තව දුරටත් ශක්තිමත් කර ඇති බව NDB බැංකුව විසින් නිවේදනය කළේය. මේ හරහා අංශ තුනක් යටතේ මෙම අවබෝධතාවය ශක්තිමත් කර ඇත. 1998 වසරේදී පලමු වරට NDB බැංකුව සහ IFC ආයතනය අතර සම්බන්ධතාවය ආරම්භ වූ අතර, මෙවර අවදානම් කළමනාකරණ පහසුකම් (RSF) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් කෙරෙහි අවධානය යොමු කරන වෙළඳ මූල්‍ය පහසුකම් සහ ගනුදෙනු බැංකුකරණය, සැපයුම් දාම මූල්‍ය අංශය ඉහළ නැංවීමට සහ දේශගුණික අවදානම් කළමනාකරණ පිළිවෙත් වැඩිදියුණු කිරීම සඳහා බැංකුව විසින් ලබාදෙන උපදේශන සේවාවන් සම්බන්ධතාවයක් දක්වා පුළුල් කෙරේ.
IFC ආයතනයේ කුඩා ණය ඇපකර වැඩසටහනේ (Small Loan Guarantee) කොටසක් වන අවදානම් හවුල්කරණ පහසුකම (RSF) එම වැඩසටහන යටතේ කඩිනමින් ක‍්‍රියාත්මක වීම සඳහා සැලසුම් කර ඇති අතර සුදුසුකම් ලත් සියලූම ණය පහසුකම් සඳහා IFC ආයතනය සහ NDB බැංකුව අතර අවදානම සමානව බෙදී යනු ඇත. කෘෂිකාර්මික ව්‍යවසායන්, කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සහ කාන්තා සවිබල ගැන්වීම වැනි අනෙකුත් සමාජ වැඩිදියුණු කිරීමේ ක්ෂේත‍්‍රයන් මූලික කොටගෙන ණය පහසුකම් ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම වැඩසටහන සැලසුම් කර ඇත. එම වැඩසටහනේ අනිවාර්ය අංගයක් ලෙස, ඉලක්කගත පුහුණු මුලපිරීම් හරහා මෙම මූල්‍ය පහසුකම් වඩාත් ඵලදායී ලෙස යෙදවීමට NDB බැංකුවේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරන අතරම, බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගනුදෙනුකරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරන ඒකාබද්ධ උපදේශන සහාය ද IFC ආයතනය විසින් මේ සමඟම සපයනු ඇත.
දෙවන එකඟතාවයට අනුව IFC ආයතනයේ ගෝලීය වෙළඳ මූල්‍ය වැඩසටහන (Global Trade Finance Program (GTFP) යටතේ ලබාදෙන වෙළඳ මූල්‍ය පහසුකමක් ඇතුළත් වේ. මෙම පහසුකම NDB බැංකුවේ විදේශීය වෙළඳ ගනුදෙනු සහතික කිරීම සඳහා යොදා ගනු ඇති අතර එමඟින් බැංකුවේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු සඳහා සහාය වනු ඇත. මෙම සම්බන්ධතාවය හරහා, NDB බැංකුව IFC ආයතනයේ වෙළඳ මූල්‍ය විශේෂඥයින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර එම විෂය සම්බන්ධයෙන් IFC ආයතනයේ ශක්තිමත් ණය තත්ත්වය සහ ගැඹුරු තාක්ෂණික විශේෂඥතාවයෙන් ප‍්‍රතිලාභ ලබනු ඇත. IFC ආයතනයේ AAA ශ්‍රේණිගත ඇපකරය හරහා සම්බන්ධිත බැංකු වලට උසස් තත්ත්වයේ අවදානම් කළමනාකරණ හැකියාවක් සලසයි. මෙහිදී ආවරණය වන වෙළඳ ගනුදෙනු සඳහා ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයේ අවදානම සැලකිය යුතු ලෙස අවම කරන අතර වැඩිදියුණු කළ අවදානම් බර තැබීම හරහා ප‍්‍රාග්ධන පරිභෝජනය ප‍්‍රශස්ථ කරයි. ඒ සමගම NDB බැංකුව සමඟ ගනුදෙනු කිරීමේදී ගෝලීය බැංකු වල විශ්වාසය ඉහළ නැංවෙන අතර, අවසානයේ බැංකුවේ ගනුදෙනුකරුවන් සඳහා වැඩි වෙළඳ ප‍්‍රවාහයන් සක‍්‍රීය කරයි. ශ‍්‍රී ලාංකික ව්‍යාපාර ගෝලීය සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කිරීමේදී NDB බැංකුවේ කාර්යභාරයට සහාය වීමත් සමඟම, මෙම පහසුකම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අපනයනකරුවන් සඳහා වෙළඳපල ප‍්‍රවේශය පුළුල් කිරීමට උපකාරී වනු ඇත.
මූල්‍ය පහසුකම් වලට අමතරව, NDB බැංකුව උපදේශන සේවා මාලාවකට ද පිවිසෙයි. ගෝලීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍ය පහසුකම (Global SME Finance Facility) යටතේ සහාය ඇතිව, IFC ආයතනය විසින් බැංකුවේ ගනුදෙනු බැංකුකරණ අංශය (Transaction Banking – TB) සහ සැපයුම් දාම මූල්‍ය (Supply Chain Finance – SCF) අංශය නවීකරණය කිරීම සඳහා NDB බැංකුව වෙත තාක්ෂණික සහාය ලබා දෙනු ඇත. මෙම හවුල්කාරිත්වය SCF සහ TB අංශයන්හි මෙහෙයුම් වැඩිදියුණු කිරීමට සහාය වනු ඇති අතර, ආයතනික වටිනාකම් දාමයන් තුළ කාරක ප‍්‍රාග්ධන කළමනාකරණය ප‍්‍රශස්ථ කිරීමට සහ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා මූල්‍ය පරතරය පියවීමට උපකාරී වේ. තවද, ජපාන රජයේ සහාය ඇතිව, IFC ආයතනය විසින් දේශගුණික අවදානම් රෝග විනිශ්චය සහ භෞතික අවදානම් ද්‍රව්‍යමය තක්සේරුවක් සිදු කිරීමට බැංකුවට සහාය වනු ඇති අතර මෙමඟින් පුළුල් දේශගුණික අවදානම් කළමනාකරණ රාමුවක් ස්ථාපිත කිරීම සඳහා පදනම සාදයි. මෙම මැදිහත්වීම NDB බැංකුව හර දේශගුණික අවදානම ප‍්‍රධාන අවදානම් කාණ්ඩයක් ලෙස විධිමත් ලෙස හඳුනා ගැනීමට සහ එය බැංකුවේ සමස්ත අවදානම් කළමනාකරණ රාමුවට සහ උපාය මාර්ගයට ඒකාබද්ධ කිරීමට හැකි වේ. මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් කාලෝචිත අවස්ථාවක පැමිණෙන අතර විනිවිදභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය සඳහා බැංකුවේ කැපවීම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත.
මෙම සුවිශේෂී හවුල්කාරිත්වයන් පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී කැලූම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය, ‘IFC ආයතනය සමඟ අපගේ පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතා සතුටු වෙමු. NDB බැංකුව මේ වන විට ශක්තිමත් වර්ධන වේගයක් අත්පත්කරගෙන සිටින අතර, එහි නව උපායමාර්ගික සැලැස්මක් ආරම්භ කර 2030 වසර දක්වා එහි ගමන් මග සකසා ඇත. IFC ආයතනය සමඟ මෙම තීරණාත්මක අවස්ථාවේදී තවදුරටත් සහයෝගීතාවය ශක්තිමත් කෙරෙන අතර එහිදී IFC ආයතනයේ අතිවිශාල තාක්ෂණික විශේෂඥතාව සහ අරමුදල් ශක්තිය සමඟ බැංකුවේ උත්සාහයන් තවදුරටත් වර්ධනය වනු ඇත. මෙම සුවිශේෂී ක‍්‍රියාකාරකම් වලදී අපගේ කාර්ය මණ්ඩලය සඳහා ධාරිතා වර්ධනය සහ දැනුම වැඩි දියුණු කිරීම, අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල අවශ්‍යතා සපුරාලීමට වැඩි කඩිසරකමක් ලබා දීම, ඔවුන්ගේ වර්තමාන අවශ්‍යතාවයේ දී වඩාත් කාර්යක්ෂම හා එක් එක් ආයතන වෙනුවෙන්ම සකස් කළ වෙළඳ විසඳුම් ලබා දීමට සහ අපගේ සියලූම ගනුදෙනුකරුවන් සඳහා කාර්යක්ෂම හා ඔවුන් වෙනුවෙන්ම සැකසුනුු වෙළඳ විසඳුම් ලබා දීමට වැඩි දියුණු කළ හැකියාවක් සහ දේශගුණික අවදානම් දෘෂ්ටිකෝණයකින් අපගේ අදාළ අවදානම් තක්සේරු කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම ඇතුළු බහුවිධ අංශ වලින් බැංකුව වෙත ප‍්‍රතිලාභ ලබනු ඇත. සමස්තයක් වශයෙන්, මෙම හවුල්කාරීත්වය සාමූහිකව රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ එහි තිරසාර ආර්ථික වර්ධන න්‍යාය පත‍්‍රයට සහාය වීමේදී වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට සහ දිගු කාලීනව ලබා දීමට බැංකුව වඩා හොඳින් ස්ථානගත කිරීමට NDB බැංකුව දරන උත්සාහයන්ට උපකාරී වනු ඇත. එමඟින් අපගේ ගනුදෙනුකරුවන් සහ කොටස් හිමියන් ඇතුළු සියලූම පාර්ශවරුවන් සඳහා තිරසාර වටිනාකමක් හිමිවනු ඇත’
මෙම හවුල්කාරිත්වයන් පිළිබඳව අදහස් දක්වමින්, ආසියානු සහ පැසිෆික් කලාපයේ මූල්‍ය ආයතන සමූහයේ IFC ආයතනයේ කලාපීය අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු මහතා මෙසේ පැවසීය, ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමෘද්ධිමත් වන විට, සමස්ථ ආර්ථිකයන් ඉදිරියට ගමන් කරයි. ප‍්‍රාග්ධනයට ප‍්‍රවේශ වීම ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයින්ට තීරණාත්මක ප‍්‍රමුඛතාවයක් ලෙස පවතින අතර සහ NDB බැංකුව සමඟ අපගේ ඇති මෙම හවුල්කාරිත්වය සැලසුම් කර ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මූල්‍යකරණය සහ ව්‍යාපාර පුළුල් කිරීමට සහ වර්ධනය වීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට උපකාර කිරීමෙන් මෙම ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා ය. මෙය ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ වර්ධනය වන අභිලාෂයන් සඳහා IFC ආයතනයේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරන අතර, සියළුදෙනාම ඇතුළත් ප‍්‍රගතියක් ලබා ගැනීමේදී පෞද්ගලික අංශයේ කාර්යභාරය ද අවධාරණය කරයි.’ ශ‍්‍රී ලංකාව සඳහා ලෝක බැංකු සමූහයේ ප‍්‍රමුඛතාවයන් සමඟ සමපාත වන මෙම හවුල්කාරිත්වය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඉලක්කගත විසඳුම් ලබා දීම, ව්‍යාපාර වලට අභියෝග ජය ගැනීමට උපකාර කිරීම සහ රටේ දිගුකාලීන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවට සහාය වීම අරමුණු කරයි.
Video Story