NDB බැංකුව විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානය වෙනුවෙන් හොඳම බැංකුව සඳහා Euromoney සම්මානය දිනා ගනී

    January, 15, 2025

    NDB බැංකුව 2024 Euromoney සම්මාන උළෙලේදී විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය හිමි වන සේවා ස්ථානයක් වීම වෙනුවෙන් හොඳම බැංකුව සම්මානයෙන් පිදුම් ලබා ඇත. මෙම ගෞරවණීය ඇගයීම හිමි කරගැනීම මඟින් ආයතනය තුල විවිධත්වය, සමානාත්මතාවය සහ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රමුඛ සේවා ස්ථාන සංස්කෘතියක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම අවධාරනය කරයි. ශ‍්‍රී ලාංකික මූල්‍ය සහ බැංකු ක්ෂේත‍්‍රය තුළ මෙවැනි ආයතන සංස්කෘතියක් නිර්මාණය කළ ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස NDB බැංකුව පිළිගැනේ.

    NDB බැංකුව සෑම විටම සෑම පුද්ගලයෙකුටම හිමි අනන්‍ය හැකියාවන් තුළින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවස්ථාවන් හිමිවන සේවා පරිසරයක් ප‍්‍රවර්ධනය කිරීම සහතික කරමින් මෙම සම්මානය හිමිවිය. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවයට සහාය දැක්වීම, පක්ෂග‍්‍රාහීකම් ඉවත් කිරීමට සහ සියලූම සේවකයන්ට සාධාරණ අවස්ථා ලබා දීම වෙනුවෙන් ක‍්‍රියාත්මක කර ඇති ප‍්‍රතිපත්ති සහ භාවිතාවන් ද මෙයට ඇතුළත් වේ. ඒ වෙනුවෙන් බැංකුවේ  ඇති කැපවීම වෙනුවෙන්, 2023 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන කාන්තා-හිතකාමී සේවා ස්ථානයක් ලෙස NDB බැංකුව පිළිගැනීමට ලක් වූ අතර, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ප‍්‍රවර්ධනය කිරීමට සක‍්‍රීයව සහාය දක්වන  සේවා යෝජකයෙකු ලෙස එහි භූමිකාව තව තවත් ශක්තිමත් කරයි.

    NDB බැංකුවේ ප‍්‍රමුඛතම මුලපිරීම් වලින් එකක් වන Fearlessly Female වැඩසටහන, ආයතනය තුළ සහ සාමාජීය වශයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ඇත. එය කාන්තාවන් දිරිමත් කිරීමට, ඔවුන්ට සහාය වීමට සහ උපදේශන සේවාවන් ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. මෙමඟින් කාන්තා කුසලතා පෝෂණය කර ඒවා දිරිමත් කරනු ලබන පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරයි. මෙම මුලපිරීම, වැඩ කරන කාන්තාවන්, ගෘහ සේවිකාවන්, කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන් සහ කාන්තා ව්‍යවසායකයින් ඇතුළු විවිධ තරාතිරම්වල කාන්තාවන් සඳහා ඉලක්කගත මුල්‍ය විසඳුම් සපයන අරලිය සන්නාමය යටතේ පවත්වාගෙන යනු ලබන NDB බැංකුවේ කාන්තාවන් වෙනුවෙන් බැංකුකරණය වැඩසටහනට සමගාමීව ක‍්‍රියාත්මක වේ. අවම ප‍්‍රතිශතයන් යටතේ මූල්‍ය පහසුකම් සැපයීම, නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ ණය කළමනාකරණය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ උපදේශන සේවා ලබා දීමෙන්, NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන විශේෂිත අවශ්‍යතා සහ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යයි.

    NDB බැංකුව, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා දරනු ලබන ප‍්‍රයත්නයන් වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතියක් වන EDGE සහතිකය ද ලබාගෙන ඇති අතර, සමාන අවස්ථාවන් හිමි සේවා ස්ථානයක් පවත්වාගෙන යාම වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම ඉස්මතු කරයි. සමාන අවස්ථා, වැටුප් වල විනිවිදභාවය සහ නායකත්ව භූමිකාවන්හි කාන්තා සමතුලිත නියෝජනයක් සහතික කරන ප‍්‍රතිපත්ති වෙනුවෙන් NDB බැංකුවේ ඇති කැපවීම මෙම සහතිකයෙන්  පිළිබිඹු වේ.

    NDB බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා සඳහන් කළේ  "විවිධත්වය සහ සියලූ දෙනාට ප‍්‍රවේශය ඇති සේවා පරිසරයක් සහිත හොඳම බැංකුව ලෙස අප ලද මෙම පිළිගැනීම NDB බැංකුවට ආඩම්බර විය හැකි අවස්ථාවක්. නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය මූලික කරගෙන ක‍්‍රියාත්මක වන අප ආයතනය, සියල්ලන්ම ඇතුළත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම ද අපගේ සාර්ථකත්වයට මූලික වන බව අපි විශ්වාස කරමු. සමානාත්මතාවය සහ අපගේ සියලූම සේවකයින්ගේ වර්ධනයට සහ සංවර්ධනයට සහාය වන පරිසරයක් නිර්මාණය කිරීමට අපි ඇප කැප වී සිටිනවා " ලෙසයි.

    කාන්තාවන් වෙනුවෙන් බැංකුකරණ වැඩසටහන ව්‍යවසායකත්වයට පමණක් සීමා නොවී වැඩ කරන කාන්තාවන්ට සහ ගෘහණියන්ට ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම නංවාලීම සඳහා නිර්මාණය කර ඇති මූල්‍ය විසඳුම් සහ උපදේශන සේවා රාශියකට ප‍්‍රවේශය ලබා දෙමින් ඔවුන්ට සහයෝගය ලබා දෙයි. ශ‍්‍රී ලංකා වනිතාභිමාන වැඩසටහන යටතේ ද, කාන්තාවන්ගේ කුසලතා සංවර්ධනය සහ මූල්‍ය වර්ධනය සඳහා අවස්ථා ලබා දෙමින් කාන්තාවන් ඇගයීම සහ ඔවුන් සවිබල ගැන්වීම අඛණ්ඩව සිදු කරයි. 2020 වසරේදී වැඩසටහන ආරම්භයේ පටන්, මෙම වැඩසටහන රටේ විශාලතම පුද්ගලික අංශයේ කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන බවට වර්ධනය වී ඇත.

    2024 Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ලද මෙම ඇගයීම, බැංකුවේ ඇති විවිධත්වය සහ එහි මෙහෙයුම් වල සෑම අංශයකින්ම පුද්ගලයන්ට හිමිවන අවස්ථාවන් ප‍්‍රවර්ධනය කිරීමට බැංකුවේ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳ සාක්ෂියකි. බැංකුවේ ව්‍යාපාර උපාය මාර්ගය වන TQM, ගනුදෙනු ප‍්‍රමාණය ඉහළ නැංවීම, වත්කම් වල ගුණාත්මකභාවය සහ ලාභය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින්, එහි මූලික වටිනාකම් පිළිබිඹු කරන සහ ශ‍්‍රී ලංකාවේ වගකිවයුතු සහ සාධාරණ බැංකුකරණ භාවිතයන් සඳහා සීමා මායිම් සළකුණු කරන සහ සියළු දෙනා ඇතුළත් ආයතනික සංස්කෘතියක් පෝෂණය කිරීමේ කැපවීම ඇතුළත් වේ.

    NDB බැංකුව සිය සේවක මණ්ඩලයට, කොටස් හිමියන්ට සහ හවුල්කරුවන්ට ඔවුන්ගේ නොබිදෙන සහයෝගය වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පුද කරන අතර විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් දිරිමත් කරන සියළු දෙනාගෙන් සමන්විත, සමානාත්මතාවය සහ විවිධාංගීකරණය වූ සේවා ස්ථානයක් නිර්මාණය කිරීමේ මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරයි.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප‍්‍රාග්ධන  වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.