NDB බැංකුව සහ Hayleys Solar සහයෝගීත්වයෙන් විශ‍්‍රාමිකයන් සඳහා NDB බැංකුව වෙතින් සූර්ය බලශක්ති ණය පහසුකම හඳුන්වා දෙයි

    September, 6, 2024

    රට වෙනුවෙන් අඛණ්ඩව සේවාවක් ඉටු කළ ජාතියේ විශ‍්‍රාමිකයින්ගේ යහපැවැත්මට සහාය වීම සහ පරිසර හිතකාමී බලශක්ති විසඳුම් ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කොට ගෙන NDB බැංකුව පසුගිය අගෝස්තු 22 වන දින  “ආචාර විශ‍්‍රාමික ණය යෝජනා ක‍්‍රමය”  යටතේ සූර්ය බලශක්ති පහසුකම් දියත් කිරීමේ අරමුණින් Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar සමඟ නිල වශයෙන් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන ලදී. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මූල්‍යමය පහසුකම් සලසාදීමට බැංකුවේ ඇති කැපවීම මෙමඟින් විදහා දැක්වීම පමණක් නොව ඔවුන්ගේ ජීවිත තිරසාර කිරීම සඳහා දරන කැපවීමේ උත්සාහය ද මෙමඟින් පැහැදිලි වේ.

    NDB බැංකුව සහ Hayleys Solar අතර සිදු වූ මෙම අත්සන් තැබීම දෙපාර්ශවයේ නිල හවුල්කාරීත්වය සනිටුහන් කළ අතර මෙම අවස්ථාව සඳහා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (විශ‍්‍රාම වැටුප්) ඇතුළු NDB බැංකුවේ සහ Hayleys Solar හි ප‍්‍රධාන නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.

    විශ‍්‍රාමික ප‍්‍රජාව ශ‍්‍රී ලංකාව තුළ වසර ගණනක් සිය සේවාව ලබා දි ඇති අතර විශ‍්‍රාමිකයන් ලෙස ශ‍්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඔවුන්ගේ මෙම කැපවීම ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සුවපහසු සහ පරිසර හිතකාමී විශ‍්‍රාමික දිවියක් ගත කිරීම සහතික කරමින් NDB බැංකුව විසින් මෙම සුවිශේෂී ණය පහසුකම පිරිනමනු ලබයි. ශ‍්‍රී ලංකා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යටතේ සිටින සියලූම විශ‍්‍රාමිකයන් හට මෙම සූර්ය බලශක්ති ණය සඳහා අයදුම් කලහැකි අතර, සූර්ය බලශක්ති ක‍්‍රමය වෙත මාරු වීමේදී ඔවුනට ඉතා පහසුවෙන් හා දැරිය හැකි මිලකට සුර්ය පැනල ලබාගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙම ණය පහසුකම මඟින් ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.

    NDB බැංකුවේ සූර්ය බලශක්ති ණය පහසුකම විශ‍්‍රාමිකයින් වෙනුවෙන් තරඟකාරී පොලී අනුපාතයක් යටතේ රු. මිලියන 4.5 ක් දක්වා ලබාදෙයි. මෙම ණය වැඩසටහන 100% ක් NDB බැංකුව විසින් අරමුදල් සපයමින් ක‍්‍රියාත්මක කරන ණය ව්‍යාපෘතියකි. කළමනාකරණය කළ හැකි පහසු මාසික ගෙවීම් වාරික සහතික කරමින් උපරිම වයස් සීමාව අවුරුදු 75කට යටත්ව, වසර 15ක් දක්වා නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලයක් සමඟ ණය පහසුකම් පිරිනමයි. අතිරේකව ආරක්ෂණ සුරැකුම් ඇපකර කිසිවක් නොමැති බැවින් ණය අයදුම් කිරීමේ ක‍්‍රියාවලිය වඩාත් ඉක්මනින් සහ කාර්යක්ෂමව සිදු වේ. වඩාත් සුවිශේෂී කරුණ නම්, ණය ගැනුම්කරුගේ ජීවිත හානියකදී, රක්ෂණ ආයතනය විසින් ණය සම්පූර්ණයෙන්ම පියවීම සහතික කරමින්, ජීවිත රක්ෂණ ආවරණයක් මෙම ණය ක‍්‍රමයට ඇතුළත් වීමයි.

    පුනර්ජනනීය බලශක්ති විසඳුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Hayleys Solar ආයතනය මෙම හවුල්කාරිත්වය සමඟින් අමතර ප‍්‍රතිලාභ රැසක් ගෙන දෙයි. ප‍්‍රතිලාභීන් වෙනුවෙන් Hayleys වෙතින් ඔවුන්ගේ සූර්ය බලශක්ති ඒකක සඳහා 12% ක ආකර්ෂණීය  වට්ටමක් ද හිමිකර දී ඇත. මෙයට අමතරව, අදාළ ආයතනයන්ගේ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සහ සූර්ය බලශක්ති පැනල සඳහා අලෙවියෙන් පසු සේවා සැපයීම ද විධිමත් කර ඇති අතර, දිගුකාලීන කාර්යක්ෂමතාව සහ සහාය සහතික කර ඇත. මෙය Hayleys Solar හි නවතම මුලපිරීමක් වන ‘ණයක් නොවෙන ණයක්’ වැඩසටහන යටතේ ක‍්‍රියාත්මකවේ.

    NDB බැංකුව සහ Hayleys Solar ආයතනය අතර ඇතිකරගෙන ඇති මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ විශ‍්‍රාමිකයින් අතර පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම වෙනුවෙන් පහසුකම් සලසන අතරම ගෝලීය තිරසාර අභිලාශයන් ට සමගාමීව ක‍්‍රියා කිරීමයි. සූර්ය බලශක්තිය වෙත මාරු වීමෙන්, විශ‍්‍රාමිකයින්ට තම විදුලි බිල අවම කර ගත හැකි අතර, සූර්ය බලයෙන් උත්පාදනය කරන අතිරික්ත විදුලිය නැවත විදුලිබල පද්ධතියට ලබාදීමෙන් අමතර ආදායමක් උපයා ගැනීමේ අවස්ථාව ද හිමිවේ. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් හා වඩා තිරසාර අනාගතයක් වෙනුවෙන් දායක වීමටද මේ හරහා විශ‍්‍රාමිකයන්ට අවස්ථාව හිමිවේ.

    Hayleys Solar ආයතනය මූලික වශයෙන් නේවාසික නිවාස, වාණිජ ව්‍යාපාර, කර්මාන්ත සහ මහා පරිමාණ බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති ඇතුළු විවිධ අංශ සඳහා සූර්ය පැනල් (Solar PV) පද්ධති ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. මෙමඟින්, ශ‍්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීමට උපකාරී වේ. Hayleys Solar ආයතනය විසින් දිවයින පුරා මෙගාවොට් 250ක (250MWp) සූර්ය බලශක්ති ව්‍යාපෘති සාර්ථකව නිම කර ඇති අතර, රටේ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉංජිනේරු, ප‍්‍රසම්පාදන සහ ඉදිකිරීම් (EPC) සේවාවන්හි ප‍්‍රමුඛතම සමාගම බවට පත් වී තිබේ.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

     

     

    ඡායාරූපය - (වමේ සිට දකුණට) K.G.R ජයනාත් - අධ්‍යක්ෂ (විශ‍්‍රාම වැටුප්), සමීර සෙනරත් - සහකාර උප සභාපති  - විකුණුම් (NDB බැංකුව), සංජය පෙරේරා - ජ්‍යෙෂ්ඨ උප සභාපති - පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සේවා (NDB බැංකුව), K.V විනෝජ් - නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී (NDB බැංකුව),  හසිත් පේ‍්‍රමතිලක - කළමනාකාර අධ්‍යක්ෂ (හේලීස් ෆෙන්ටන්ස්), රොෂේන් පෙරේරා - අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී (හේලීස් සෝලර්), පමුදිත් ගුණවර්ධන - අධ්‍යක්ෂ - මුල්‍ය (හේලීස් ෆෙන්ටන්ස්), අකිල ජයසේන - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ජාතික විකුණුම් (හේලීස් සෝලර්)