NDB බැංකුව IFC සමඟ සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගන්වයි

    July, 5, 2024

    NDB බැංකුව, ශ‍්‍රී ලංකාව තුළ කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය කටයුතු සඳහා ඔවුන්ව දායක කරගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස කාන්තා ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාත්‍යාන්තර මූල්‍ය සංස්ථාව: IFC සමඟ සම්බන්ධ වී ඇත. NDB බැංකුවේ කාන්තාවන් සඳහා බැංකුකරණ සහ NDB අරලිය, මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්, වර්තමාන තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් කාන්තාවන් සන්නද්ධ කිරීම අරමුණු කරයි.

    දිවයින පුරා ස්ථාන කිහිපයක පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන් සඳහා කාන්තා ව්‍යවසායකයින් 120 දෙනෙකුගේ පමණ උද්යෝගිමත් සහභාගීත්වය දැකගත හැකි විය. ව්‍යාපාර සැලසුම්කරණය සහ කළමනාකරණය, සන්නාමකරණය, අලෙවිකරණය සහ ඩිජිටල් සහ ඔන්ලයින් අලෙවිකරණ උපාය මාර්ග වෙත යොමුවීම ඇතුළුව ව්‍යාපාර වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පුළුල් පරාසයක මාතෘකා රැසක් මෙම සැසි මගින් ආවරණය කෙරේ.

    NDB බැංකුව සහ IFC අතර ඇති මෙම සහයෝගීතාවය කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීමේ වැදගත්කම සහ ව්‍යාපාරික අංශයේ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. කාන්තාවන්ට අවශ්‍ය පුහුණුව සහ සම්පත් සඳහා ප‍්‍රවේශය ලබා දීමෙන්, NDB බැංකුව ශ‍්‍රී ලංකාව තුළ කාන්තාවන්ටත් සමාන අවස්ථාවන් හිමිවන සහ වඩාත්  විවිධාංගීකරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට උපකාර කරයි.

    මෙම පුහුණු වැඩසටහන්වල එක් ප‍්‍රධාන විශේෂත්වයක් වන්නේ ඩිජිටල් බැංකුකරණය කෙරෙහි අවධානය යොමු කිරීමයි. වර්තමාන ලෝකයේ ශක්තිමත් ඩිජිටල් අලෙවිකරණ ක‍්‍රියාකාරකම් ව්‍යාපාර සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස මීගමුවේ පැවැති සැසිවාරයේදී, පුළුල් පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගැනීම  සහ ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල් භාවිතාව සහ අන්තර්ජාල අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරනය කරන ලදී.තවද, කාන්තා ව්‍යවසායකයින් අතර විශ්වාසය ගොඩනැංවීම  සහ ඔවුන් සවිබල ගැන්වීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම මෙම පුහුණු වැඩසටහන් වල අරමුණයි. NDB බැංකුව කාන්තාවන්ට ව්‍යාපාරික කටයුතුවලට හවුල් කරගනිමින් ඔවුන්ව ශ‍්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් ව්‍යාපාරික වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය නිපුණතා සහ දැනුම ලබාදෙයි.