NDB බැංකුව NEOSBIZ සමඟින් දකුණු පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගන්වමින් ඩිජිටල් පරිවර්ථනය පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරයි

    November, 20, 2024

    වැඩසටහන අතරතුර බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඩිජිටල්කරණය පිළිබඳ සාකච්චා කරමින්.

    NDB බැංකුව විසින්, ශ්‍රී ලාංකීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සහය දැක්වීමේ සිය මෙහෙවරෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2024 ඔක්තෝම්බර් මස ගාල්ල මවුන්ට් රීච් හෝටල් පර්ශ්‍රයේදී ව්‍යාපාර උදෙසා ඩිජිටල් පරිවර්ථනයේ වැදගත්කම පිලිබඳව වැඩමුළුවක් පවත්වන ලදී. මෙම උත්සවය දකුණු පළාතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පැවැත්වුණු අතර බැංකුවේ නව්‍යකරණය වූ NEOSBIZ ඇප් එකෙහි සුවිශේෂී විෂේශාංග පිළිබඳව තවදුරටත් දැනුම බෙදා හදාගැනීම සඳහා අවස්ථාව හිමි විය. NEOSBIZ යනු ඩිජිටල් භාවිතාවන්හි ඉහළම තාක්ෂණයෙන් ව්‍යාපාරික මුල්‍ය කළමනාකරණය වඩා පහසු කරගැනීම වෙනුවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව සඳහා ම නිර්මාණය කරන ලද ව්‍යාපාරීක බැංකුකරණ විසඳුම වෙයි.

    ගනුදෙනු ආරක්ෂාව වැඩිදියුණු කිරීමට, දත්ත මත පදනම් වූ ඉක්මන් තීරණ ගැනීමට ව්‍යාපාරවලට උපකාර වන සහ සාම්ප්‍රදායික මුල්‍ය කළමනාකරණ ක්‍රියාවලීන් පරිවර්ථනය කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කරමින්, NEOSBIZ ඇප් එකෙහි පුළුල් විශේෂාංග පිළිබඳව මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සියලූ බැංකුකරණ ගනුදෙනු සිදුකළ හැකි එකම ඩිජිටල් බැංකුකරණ විසඳුමක් ලබා දීමෙන්, සීඝ්‍රයෙන් දියුණු වන වෙළඳපොළක තරඟකාරීව සිටීමට අවශ්‍ය මෙවලම්වලින් දේශීය ව්‍යවසායකයින් සන්නද්ධ කිරීම NDB අරමුණු කරයි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සහ ඩිජිටල් පරිවර්තනය සඳහා බැංකුවේ ඇති දැක්ම පිළිබඳ අවබෝධය බෙදාගත් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් විසින් මෙහෙයවන ලද සාකච්ඡා රැසක් මෙම අවස්ථාවට ඇතුළත් විය. කර්මාන්තයේ ප්‍රවීණයන් සහ NDB බැංකුවේ ඉහළ නිලධාරීන් විසින් ව්‍යාපාර කාර්යක්ෂමතාව සහ වර්ධනය සඳහා ඩිජිටල් නවෝත්පාදන වල ඇති වැදගත්කම අවධාරණය කළ අතර, බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ කේන්ද්‍ර කරගත් බැංකුකරණ විසඳුම් වල තීරණාත්මක මෙවලමක් ලෙස NEOSBIZ ඇති වැදගත්කම පිළිබඳ සාකච්චා කෙරිණි.

    වැඩමුළුවට සහභාගී වූ ව්‍යාපාරිකයන් සඳහා NEOSBIZ ඇප් එක මඟින් පහසුවෙන් මුල්‍ය ගනුදෙනු කළමනාකරණය කිරීම, ආරක්ෂිතව ගනුදෙනු  සිදුකිරීම  ප්‍රායෝගිකව අත්හදා බැලීම සඳහා අවස්ථාව හිමිකර දෙන ලදී. මෙමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ තරඟකාරිත්වයට මුහුණ දීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය සියලූ අංග පිළිබඳව දැනුවත් කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ නිර්මාණය වන විවිධ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා  වූ අතර,  ඩිජිටල් තාක්ෂණයන්ට අනුගත වීමේ වැදගත්කම පිළිබඳව පැමිණි සිටි පිරිසගේ අවධානය යොමු කරන ලදී.

    මෙම වැඩසටහන් මාලාව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. NEOSBIZ වැනි ඉහළ තාක්ෂණයෙන් යුතු බැංකුකරණ විසඳුම් සමඟ ව්‍යාපාර සවිබල ගැන්වීමෙන්, ඩිජිටල් යුගයට අනුවර්තනය වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය වීමට NDB අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී. NEOSBIZ සමඟින්, NDB බැංකුව දේශීය ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය බැංකුකරණ හවුල්කරුවෙකු ලෙස සිය භූමිකාව යලි තහවුරු කරන අතරම ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික වර්ධනය සහ සාර්ථකත්වය උදෙසා අවැසි නව්‍ය මෙවලම් නිර්මාණය කිරීම වෙනුවෙන් නිබඳවම කැපවී සිටියි.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asia Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මුල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මුල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.