NDB බැංකුව TradeLinc දියත් කිරීමත් සමඟ සැපයුම් දාම මූල්‍යයේ විප්ලවීය වෙනසක් ඇති කරයි

    January, 24, 2025

    ඩිජිටල් බැංකුකරණ නවෝත්පාදනයේ ප‍්‍රමුඛයා ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින්, සැපයුම් දාම මූල්‍යකරණය (Supply Chain Finance) සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට දේශීයව නිර්මාණය කරන ලද පද්ධතියක් වන TradeLinc හඳුන්වා දීම පිළිබඳ NDB බැංකුව සාඩම්බරයෙන් නිවේදනය කර සිටී. රට තුළ ක‍්‍රියාත්මක ඩිජිටල් පරිවර්ථනයට සමගාමීව සහ ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර සහ ඔවුන්ගේ හවුල්කරුවන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය ගැලපෙන විසඳුම් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති TradeLinc පද්ධතිය NDB බැංකුවේ මූල්‍ය තාක්ෂණයේ නව මිණුම් දණ්ඩක් නිර්මාණය කරයි.

    NDB කාර්ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද TradeLinc, ශ‍්‍රී ලංකාවේ අද්වතීය වෙළඳපල ගතිකත්වයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහිතව නිර්මාණය කර ඇත. අන්තර්ජාතික පද්ධතීන් මෙන් නොව TradeLinc සැපයුම් දාම මූල්‍යකරණයේ පිරිවැය කාර්යක්ෂමතාව සහ නම්‍යශීලි විසඳුම් ලබා දෙමින්, ශ‍්‍රී ලාංකීය ව්‍යාපාර මුහුණ දෙන සුවිශේෂී අභියෝගයන් ජය ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් ලබා දේ. සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන ලද, 24/7 පුරා පහසුකම් සලසන මෙම පද්ධතිය ව්‍යාපාර වලට ක්ෂණික අරමුදල් සඳහා අසමසම ප‍්‍රවේශයක් ලබා දෙමින් ව්‍යාපාරයන්හි ඇතිවන මූල්‍ය අභියෝගයන් සඳහා විශ්වාසයකින් සහ කඩිසරව මුහුණ දීමට ඔවුන් සවිබල ගන්වයි.

    සැපයුම් දාම මූල්‍යකරණය සඳහා නිර්මාණය වූ මෙම නවෝත්පාදන ප‍්‍රවේශය ජාතික වශයෙන් පිළිගැනීමකට ලක් වෙමින් තාක්ෂණික ක්ෂේත්‍රයේ කීර්තිමත් සම්මාන උළෙලක් වන National Best Quality Software Awards (NBQSA) හිදී සම්මානයටද පාත‍්‍ර විය. ගෝලීය තරඟකාරීත්වය පවත්වාගෙන යමින් දේශීය අවශ්‍යතා සපුරාලන අන්තර්ජාතික මට්ටමේ විසඳුම් ලබා දීමෙහි NDB බැංකුවේ ඇති කැපවීම මෙම සම්මානය මඟින් තහවුරු කෙරේ.

    සැපයුම් දාම දෘශ්‍යතාව වැඩිදියුණු කිරීම සහ සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ ආයතනික හවුල්කරුවන් අතර සහයෝගීතාව වර්ධනය කරමින් TradeLinc ව්‍යාපාර සඳහා පරිවර්ථනීය අත්දැකීමක් ලබා දේ. එහි තත්‍යකාලීන අවබෝධයල විනිවිදභාවය සහ විශ්වාසය සහතික කරන අතර මෙම පද්ධතිය ද්‍රවශීලිතාව කෙරෙහි අවදානය යොමු කිරීමෙන් සමාගම් වලට ප‍්‍රමාදයකින් තොරව සංවර්ධන අවස්ථා අත්කර ගැනීමට අවශ්‍ය කාර්ය ප්‍රාග්ධනය ඇති බවටද සහතික කරයි.

    ආයතනික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම ශක්තිමත් කිරීමේ NDB බැංකුවෙහි පුළුල් දැක්ම ද TradeLinc මඟින් විදහා පායි. මූල්‍ය ක‍්‍රියාවලිය සරල කිරීම සහ මෙහෙයුම් ක‍්‍රමවත් කිරීමෙන් මෙම පද්ධතිය සෑම තරාතිරකම ව්‍යාපාර සඳහා ක‍්‍රමයෙන් වැඩි වන තරඟකාරි වෙළඳපල තුළ සමෘද්ධිමත්ව සිටීමට අවශ්‍ය සියලූ මේවලම් සපයයි. මෙම මුලපිරීම ශ‍්‍රී ලංකාවේ  ඩිජිටල් ආර්ථිකයේ ප‍්‍රධාන සක‍්‍රීයකරු බවට NDB බැංකුව තවදුරටත් තහවුරු කරමින් වඩාත් සම්බන්ධිත සහ කාර්යක්ෂම මූල්‍ය දර්ශණයක් සඳහා වන ශ‍්‍රී ලංකාවේ දැක්මට අනුකූලව ක‍්‍රියාත්මක වන නවෝත්පාදනයක්ද වේ.

    NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance 2024 සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ‍්‍රී ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත‍්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.