පඩිත් එක්ක ඇති තරම් නිවාඩු ගන්න කාලය ඇවිත්

    September, 25, 2014

    ලොව සුපතල ව්‍යවසායකයෙකු වන වර්ජින් සමූහයේ ප්‍රධානී සර් රිචඩ් බ්‍රැන්සන් ව්‍යාපාරික ලොව කළඹමින් තවත් අද්විතීය හඳුන්වාදීමක් සිදුකර තිබෙන බව වාර්තා වේ.

    එනම්, ඔහු විසින් සිය සේවකයින්ට කැමති තරම් නිවාඩු ගැනීමේ අවස්ථාව ලබාදී තිබේ. කොතරම් නිවාඩු ගත්තද පඩි අඩු නොකරන බවත් දැනුම් දීමක් නොකර ඕනෑම වේලාවක නිවාඩු යා හැකි බවත් හෙතෙම සඳහන් කර තිබේ.

    ලොව පුරා රටවල් 50 ක පමණ විසිරී සිටින සේවකයින් 50,000 ක් පමණ සේවය කරන වර්ජින් සමූහයේ සමාගම් සඳහා මෙම ක්‍රමය අනුගමනය කරන්නැයි ඔහු දිරිගන්වා තිබෙන අතර මුල් පියවරේදී තමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සඳහා මෙම ක්‍රමය හඳුන්වාදෙන බව පවසා ඇත.
    කාර්යාලයේ සිටින කාලය වැදගත් නොවන බවත් වැදගත් වන්නේ කරන වැඩ ප්‍රමාණය පමණක් බවත් ව්‍යාපාරික ලොව බුහුමනට බඳුන්වී ඇති මෙම ව්‍යවසායකයා අවධාරණය කර තිබේ.

    මේ ආකාරයෙන් ඕනෑම වේලාවක, ඕනෑම තරමක් නිවාඩු ගැනීම සඳහා කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවන බවත් මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම තුළින් තම ව්‍යාපාරයට බාධාවක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

    මෙවැනි නිවාඩු ක්‍රමයක් Netflix නැමති අන්තර් ජාල රූපවාහිනිය විසින් අනුගමනය කරන බව තම දුවණිය පැවසීමෙන් පසුව ඒ ගැන විමසා බලා මෙම ක්‍රමය හඳුන්වාදුන් බව බ්‍රැන්සන් පවසා තිබේ.

    බ්‍රැන්සන් සිය ව්‍යාපාරික කටයුතු ඉතාමත් කුඩාවට ආරම්භ කර තිබෙන්නේ 1970 වසරේදීයි.