NSF ජාත්‍යන්තර සහතික ලත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල නල සන්නාමය ලෙස Anton ඉතිහාසයට එක්වෙයි

    January, 22, 2026

    දශක හයකට අධික කාලයක් පුරා මෙරට PVC කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Anton, සිය පානීය ජල නල පරාසය සඳහා NSF/ANSI/CAN 61 ජාත්‍යන්තර සහතිකය හිමිකරගත් බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ජාතික සනීපාරක්ෂක පදනම (NSF) මගින් පිරිනමනු ලබන මෙම සහතිකය හරහා ඇන්ටන් පානීය ජල නල ඊයම් රහිත බව නිල වශයෙන් තහවුරු කර ඇත. මෙවැනි සුවිශේෂී සහතිකයක් හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම මෙය වන අතර, එමගින් මහජන සෞඛ්‍යය සුරැකීමට සහ නිෂ්පාදනවල ඉහළම ආරක්ෂාව මෙන්ම පාරිසරික වගකීම පවත්වා ගැනීමට සමාගම සතු කැපවීම යළිත් සහතික කෙරේ.

    ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තය කේන්ද්‍ර කරගත් ජාතික සනීපාරක්ෂක පදනම (NSF), ගෝලීය වශයෙන් ඉහළම පිළිගැනීමක් සහිත මහජන සෞඛ්‍ය සංවිධානයකි. ආහාර, ජලය සහ පාරිභෝගික නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි විවිධ පරාමිතීන් පරීක්ෂාවට ලක් කර, ඒවා දැඩි ආරක්ෂණ සහ ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලද යන්න පරීක්ෂා කර සහතික කිරීම මෙම පදනම මගින් සිදු කෙරේ. ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනය සහ කැනඩාවේ ප්‍රමිති කවුන්සිලය විසින් NSF ආයතනය නිල වශයෙන් පිළිගැනෙන බැවින්, ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් ස්ථාපිත කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම ආයතනය සතු සුවිශේෂී අධිකාරී බලය මැනවින් පිළිබිඹු වේ.

    NSF/ANSI/CAN 61 සහතිකය හිමිකර ගැනීම තුළින් ජාත්‍යන්තරව පිළිගත් ගුණාත්මක සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වෙමින් වඩාත් ආරක්ෂිත මෙන්ම වගකීම් සහගත ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීමට Anton දක්වන දායකත්වය මැනවින් පැහැදිලි වේ. වර්තමාන වෙළඳපොළේ පවතින ඇතැම් ජල නල නිෂ්පාදනය සඳහා සෞඛ්‍යයට අහිතකර ඊයම් සංයෝග භාවිත කරන අතර, ඒවා පානීය ජලය සඳහා භාවිත කිරීම දීර්ඝකාලීනව දරුණු සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතු විය හැකිය. එබැවින්, ජල නල මිලදී ගැනීමට පෙර NSF වැනි ජාත්‍යන්තර ආයතනයක සහතිකයක් පවතීදැයි පරීක්ෂා කර බැලීම පාරිභෝගිකයන් සතු  වගකීමකි.

    Anton, පීඩන නල නිෂ්පාදනයේදී විෂ රහිත සහ ඊයම්වලින් තොර ස්ථායීකාරක භාවිත කරන අතර, එමගින් පාරිභෝගිකයාට වඩාත් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයක් ලබා දීමටත්, ඊයම් විෂ වීමේ අවදානම අවම කිරීමටත් හැකි වී තිබේ. උසස් ප්‍රමිතිය සහ කල්පැවැත්ම ලබා දීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සමාගම දක්වන අඛණ්ඩ කැපවීම, වසර 60කට අධික කාලයක් පුරා ඇන්ටන් සන්නාමය කෙරෙහි පාරිභෝගිකයන් තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Anton හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු ජයසිංහ මහතා මෙසේ පැවසීය, "මෙම NSF සහතිකය හිමිකර ගැනීම හරහා අපගේ පාරිභෝගිකයින්ගේ සහ සමස්ත ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන සන්නාමයක් ලෙස ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය උදෙසා අප සතු අඛණ්ඩ කැපවීම මැනවින් පෙන්නුම් කෙරෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වූ PVC නිෂ්පාදන ලබා දෙන අතරම, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර අනාගතයක් උදෙසා දායක වීමට ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වන්නෙමු."

    මෙම සහතිකය හිමිවීම හරහා නිවාස හිමියන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහ වාණිජමය වශයෙන් නල භාවිත කරන්නන් Anton සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන අතර, එය සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලීන්හි ප්‍රමිතිය පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක් ලෙස ද ක්‍රියා කරයි.  මෙම ජාත්‍යන්තර පිළිගැනීමත් සමඟ වඩාත් ආරක්ෂිත ඉදිකිරීම් පරිසරයක් ගොඩනැගීමට ඇති කැපවීම Anton තවදුරටත් ඉහළ නංවන අතර, වගකීම් සහගත නායකත්වය හරහා කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ද පෙරමුණ ගෙන සිටී.

    Anton පානීය ජල නල සහ ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලීන්, ඊයම්, කැඩ්මියම් සහ රසදිය වැනි බැර ලෝහ අඩංගු දැයි තහවුරු කර ගැනීම සඳහා ඉතා දැඩි පරීක්ෂාවන්ට ලක් කෙරේ. එමෙන්ම, වයිනයිල් ක්ලෝරයිඩ් මොනොමර් වැනි පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා ද විශේෂිත පරීක්ෂණ ක්‍රියාවලීන් ක්‍රියාත්මක වේ. නිෂ්පාදනයේදී යොදාගන්නා ප්ලාස්ටිසයිසර් මෙන්ම විවිධ කාබනික සංයෝග විධිමත් පරීක්ෂණයන්ට භාජනය කෙරෙන අතර නිෂ්පාදනවල ආරක්ෂාව සහ ප්‍රමිතිය සහතික කිරීම වෙනුවෙන් සමාගමේ අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සිදු කිරීමේ ක්‍රියාවලීන් ද NSF International ආයතනයේ සෘජු පරීක්ෂාවට ලක් කර ඇත.

    අභාවප්‍රාප්ත දේශමාන්‍ය ඒ. වයි. එස්. ඥානම් මහතා විසින් ආරම්භ කරන ලද St. Anthony’s Industries Group, 1960 දශකයේ සිට මෙරට ප්ලාස්ටික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරයි. නවෝත්පාදනය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය පදනම් කරගත් දිගුකාලීන උරුමයක් හිමි මෙම සමාගම, ක්ෂේත්‍රයට ප්‍රථම වරට හඳුන්වා දුන් නව්‍යකරණයන් රැසකට හිමිකම් කියයි. පුළුල් අභ්‍යන්තර පහසුකම්වලින් සමන්විත මෙම සමූහය, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි උසස් විසඳුම් ලබා දෙමින් සහ උසස් ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගනිමින් සිය ව්‍යාපාරික පරාසය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමට කැපවී සිටී.