Orzone සමාගම අනුරාධපුරයේ ජලය ලීටර් ලක්ෂයක පොසොන් පැන් දන්සැලක් පවත්වයි

    July, 8, 2024

    අනුබුදු මිහිදු නාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය දින අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි සැදැහැවතුන්ගේ පවස නිවීමට Orzone සමාගම පිරිසිදු පානීය ජල දන්සැලක් පැවැත්වීය. රුවන්වැලිසෑය සහ ශ්‍රී මහා බෝධිය අතර මැද මාවතේ පැවැත්වූ මෙම ජල දන්සැලේදී ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සැදැහැවතුන් වෙත පරිත්‍යාග කරන ලදී. Orzone සමාගම පොසොන් පොහොය දින සහ ඊට පසු දින පැවැත්වූ මෙම ජල දන්සැලෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පවස නිවා ගත් අතර මෙම සත්කාර්යය පිළිබඳව Orzone සමාගමට සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළහ.

    Orzone සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය උපුල් බී. සෙනරත් මහතාගේ සංකල්පයක් අනුව හය වන වරටත් සංවිධානය කළ මෙම ජල දන්සැල සඳහා Orzone සමාගමේ අලෙවි අධ්‍යක්ෂ නීල් එන්. සෙනරත්, මූල්‍ය අධ්‍යක්ෂ අරුණ එස්. සෙනරත්, සාමාන්‍යධිකාරි සම්පත් වේරගොඩ, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු ශාන්ත දිසානායක ඇතුලු සමාගමේ කාර්ය මණ්ඩලය සුවිශාල දායකත්වයක් සැපයීය. මේ පිළිබඳව ආචාර්ය උපුල් බී. සෙනරත් මහතා පැවසුවේ Orzone සමාගම මෙවැනි සමාජ සත්කාර සඳහා නිරන්තරයෙන් සිය උපරිම දායකත්වය සපයන බවයි. මෙවර පොසොන් උත්සවය වෙනදාටත් වඩා උත්කර්ෂවත් ලෙස පැවැති බවත් අති විශාල ජනකායක් ඊට සහභාගී වූ බවත් ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අපනයනකරුවෙකු වන Orzone සමාගම සෞඛ්‍යාරක්ෂිත ලෙස ජලය බෝතල් කිරීම, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව ජල බෝතල් ඇසුරුම් කිරීම සහ නවීන තාක්ෂණය යොදා ගැනීම වැනි හේතු නිසා ජාත්‍යන්තර විශ්වාසය ඉහළින්ම දිනා ඇත. ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේදී සහ ඌව අභිමානී සම්මාන උළෙලේදී රන් සම්මාන සහ විශිෂ්ටම අපනයනකරු සම්මානය දිනා ඇති එම සමාගම FCCISL සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගත්තේය. මේ වන විට විශිෂ්ට ව්‍යවසායකත්වය වෙනුවෙන් රන් සම්මාන 7ක් ඇතුළුව ජාතික සහ ජාත්‍යන්තර සම්මාන 22ක් දිනා ගැනීමට Orzone සමාගම සමත් වී ඇත.