January, 4, 2016
නේවාසික විදේශ විනිමය ගිණුම් (RFC) හා අනේවාසික විදේශ විනිමය ගිණුම් (NRFC) සම්බන්ධයෙන් මෙතෙක් පනවා තිබූ විනිමය පාලන නීතිරෙගුලාසි ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගනෙ තිබේ. අද (ජනවාරි 04) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
මෙරට බැංකුවල තිබෙන RFC/ NRFC ගිණුම්වල මුදල් මීට පෙර විදේශ විනිමය වශයෙන් ආපසු ගැනීමට හැකියාව තිබුණේ අදාළ ගිණුම් හිමියා විදේශ සංචාරයක නිරතවන වැනි අවස්ථාවක දී පමණි. මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අදාළ බැංකුව විශේෂයෙන් දැනුවත් කළ යුතුව තිබුණි.
එහෙත් මෙම නව නීති රෙගුලාසිවලට අනුව ගිණුම් හිමියාට ඕනෑම අවස්ථාවක දී සිය මුදල් විදේශ විනිමය මගින් ලබා ගත හැකිවනු ඇත. එහිදී අදාළ බැංකුවට මුදල් ආපසු ගැනීම සම්බන්ධයෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. එනම් යම් අයෙකුට මෙරට වාණිජ බැංකුවක RFC/ NRFC ගිණුමක මුදල් තැන්පත් කොට ඊට අදාළ පොළිය ද සමඟින් එම මුදල් කිසිදු බාධාවකින් තොරව නැවත විදේශ විනිමය වශයෙන් ගෙන යා හැකිවේ.
මේ පිලිබඳ ගැසට් නිවේදනය 2015 දෙසැම්බර් 28 වන දින නිකුත් කර තිබෙන බවත් ඉදිරි දින කිහිපය තුළ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ නගරය මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ජනප්‍රිය කරලීමේ පියවරක් ලෙසින් මෙම පියවර ගත් බව නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමන්සිරි මහතා මෙහිදී පැවසීය.
Video Story