SAARCFINANCE අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවර දී

    October, 28, 2024

    කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම, සංගමයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන්, 2024 ඔක්තෝබර් මස 24 වැනි දින වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වන ලදී. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු, නියෝජ්‍ය අධිපතිවරු, මුදල් ලේකම්වරු සහ මහ බැංකු හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයෝ මෙම රැස්වීමට සහභාගී වූහ.

    කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම දකුණු ආසියානු මහ බැංකු අධිපතිවරුන්ට සහ මුදල් අමාත්‍යාංශවල ලේකම්වරුන්ට කලාපීය ආර්ථික අභියෝග සාකච්ඡා කිරීමට, මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමට, සහ ප්‍රතිපත්ති මූලාරම්භයන් සම්බන්ධීකරණය කිරීම සඳහා වේදිකාවක් සැපයීය. සහයෝගී පර්යේෂණ සහ මානව ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් සම්බන්ධව මෙන්ම ආර්ථික අර්බුද තත්ත්වයකදී කලාපීය මූල්‍ය ආධාර ලබා දීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පැවැත්විණි. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ කලාපීය සහයෝගීතාව සඳහා වූ මාර්ග සිතියම (Roadmap) බැංකු නියාමනය සහ අධීක්ෂණය සඳහා සහයෝගීතාව, දේශගුණය සහ තිරසාර සංවර්ධනය සඳහා මූල්‍යනය සහ මහ බැංකු මෙහෙයුම්වලට සම්බන්ධ නැගීඑන ඩිජිටල් තාක්‍ෂණය පිලිබඳ අභියෝග සහ අවස්ථාවන් තක්සේරු කිරීම යන නව ක්ෂේත්‍ර තුනක් ඇතුළත් කිරීම සඳහා නැවත සමාලෝචනය කරන ලදී.