Sands Active සමාගම වේදනාවලට විශ්වාසවන්ත සහණයක් ගෙනෙන Meldol එළිදක්වයි

    June, 20, 2024

    නව සෙෆලොස්පොරින් ඉන්ජෙක්ටබල් නිෂ්පාදනාගාරයද විවෘත කරයි

    සෑන්ඩ්ස් ඇක්ටිව් පෞද්ගලික සමාගම නිපදවන, වේදනාව සහ උණ සඳහා විශ්වාසවන්ත සහනයක් ගෙනෙන පැරසිටමෝල් පදනම් කර ගත් Meldol (මිලි ග්‍රෑම් 500) වේදනානාශක ඖෂධය පසුගියදා උත්සවාකාරයෙන් එළි දක්වන ලදී. ඉහළම ප්‍රමිතියේ අමුද්‍රව්‍යවලින් නිපදවන Meldol හිසේ කැක්කුම, මස්පිඬු වේදනාව, දත් කැක්කුම වැනි විවිධ වේදනා සමනයට උපකාර වේ. පෙත්තක් ලෙස වෙළෙඳපොළට එන Meldol ඉතා ඉක්මනින් ජනතාව අතර ජනප්‍රිය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Meldol එළිදැක්වීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා, හිටපු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ Melwa සමූහයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    සෑන්ඩ්ස් ඇක්ටිව් සමාගමට අයත් නව සෙෆලොස්පොරින් ඉන්ජෙක්ටබල් නිෂ්පාදනාගාරය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය. එම නිෂ්පාදනාගාරය විවිධ බැක්ටීරියා ආසාදනවලට අවශ්‍ය එන්නත් කළ හැකි ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට ශ්‍රී ලංකාව සතු හැකියාව ඉහළ නංවයි. නිව්මෝනියාව, මෙනින්ජයිටිස් සහ සේප්සිස් වැනි විවිධ ආසාදන සුව කිරීමට සෙෆලොස්පොරින් යොදා ගනී. මෙරට ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමූහයට අනුබද්ධ සමාගමක් ලෙස 2018දී ඇරැඹූ සෑන්ඩ්ස් ඇක්ටිව් සමාගම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වෙමින් පෙති, කරල් සහ එන්නත් ලෙස සැකසූ ඖෂධ වෙළෙඳපොළට නිකුත් කරයි. සෑන්ඩ්ස් ඇක්ටිව් සමාගම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ එක් වී සාධාරණ මිලකට ජනතාවට ඖෂධ මිල දී ගැනීමට අවස්ථාව උදා කරයි. දේශීය සහ ජාත්‍යන්තර නියාමන ක්‍රමවේදවලට අනුව සිය නිෂ්පාදන සිදු කරන එම සමාගම ලෝක සෞඛ්‍ය සංවිධානය, EU-GMP සහ අනෙකුත් අදාළ ආයතන හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන අතර ඔවුන්ගේ නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියද ලබා ඇත.