Savonta Services පෞද්ගලික සමාගම ජනාධිපති පරිසර සම්මානයෙන් පිදුම් ලබයි

    May, 24, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පරිසර හිතකාමී වාහන සේවා ස්ථානයක් වන Savonta Services පෞද්ගලික සමාගම ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවයේදී වාහන සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICHහිදී  පැවැත්විණි. එහිදී Savonta Services සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ජී. දුෂන්ත ලක්ප්‍රිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ඒ මහතා 2020දී සබරගමු පළාත් විශිෂ්ටම තරුණ ව්‍යවසායකයා සම්මානයද දිනා ඇත. 2007දී ඇරඹූ Savonta Services සමාගම අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ පිහිටා ඇති අතර වාහන සේවා කිරීමට අදාළ සියලුම සේවා නවීන තාක්ෂණයෙන් හා පළපුරුදු කාර්මික නිලධාරීන් අතින් එකම වහලක් යටදී සිදු කරයි. වර්තමානයේදී සේවකයන් 25කින් සමන්විත Savonta Services සමාගම පාරිභෝගිකයන් 4800කට අධික ප්‍රමාණයකට සේවා සපයයි.

    සාමාන්‍ය වාහන සේවා ස්ථානයකින් 100%කින් වෙනස් වන Savonta Services වෙත පිවිසෙන අයෙකුට එය දිස්වන්නේ මල් වැවුණු ගස් වැල්වලින්‚ සුරතල් මසුන් පිරුණු අලංකාර පොකුණුවලින්‚ දියඇළිවලින්‚ විවිධ පක්ෂීන්ගෙන් සපිරි සුන්දර උද්‍යානයක් ලෙසය. අවට නිවාසවලට‚ කුඹුරුයායට හා වගාවලට කිසිදු පරිසර හානියක් නොවන අයුරින්‚ කිසිදු චෝදනාවක් නොමැතිව‚ වසර 17ක් පුරා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය සහිතව පවත්වා ගෙන යන Savonta Services සමාගම සුඛෝපභෝගී විවේකාගාර දෙකක්‚ පුස්තකාලයක්‚ ආපනශාලාවක් ඇතුලු පහසුකම්වලින් සහ අපද්‍රව්‍ය හා අපජලය බැහැර කිරීමේ ක්‍රමවත් පද්ධතියකින් සමන්විතය. “සාමාන්‍ය වාහන සේවා ස්ථානයක නැති සුපිරිසිදු බවක් සහිතව‚ ‘නිවස වගේ සේවා ස්ථානයක්’ යන හැඟීම පාරිභෝගිකයන්ට ඇති වන පරිදි ජීවීන්ට හා පරිසරයට හානි නොවන ලෙස ආයතනය පවත්වා ගෙන යාමයි මාගේ අරමුණ. පරිසරයට ආදරය කරන මාගේ පියාගේ ආභාෂයද ව්‍යාපාරයේ සාර්ථකත්වයට බලපෑවා. මේ ජයග්‍රහණය ලැබීමට සහයෝගය දුන් කාර්ය මණ්ඩලයටත්‚ අප ආයතනය දිරිමත් කළ රත්නපුර දිස්ත්‍රික් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ටත්‚ පාරිභෝගිකයන් සැමටත් මම කෘතඥතාව පුද කරනවා.” දුෂන්ත ලක්ප්‍රිය මහතා පැවැසීය.