SC සෙකියුරිටීස් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකේය කොටස් තැරැව්කාර සමාගම බවට පත්වෙයි

    October, 9, 2024

    කොටස් තැරැව්කාර කර්මාන්තයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත SC සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම කීර්තිමත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය හිමිකරගත් ප්‍රථම දේශීය කොටස් තැරැව්කාර සමාගම ලෙස පත්වූ බව සාඩම්බරයෙන් දැනුම් දෙයි. පසුගිය මස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේදී පැවැති උත්සවයක දී එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය අතින් එම තත්ත්ව සහතිකය SC සෙකියුරිටීස් කළමනාකාරීත්වය වෙත ප්‍රදානය කරන ලදී.

    තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා වන ප්‍රමිතියක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන ISO 9001:2015 සහතිකකරණය තුළින් ආයතනයන්හි මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම, සේවාලාභී තෘප්තිමත්බව සහ නියාමන අවශ්‍යතා සමඟ අනුකූල වීම වැඩි දියුණු කිරීමට උපකාරී වේ. විශේෂයෙන්ම SC සෙකියුරිටීස් වැනි කොටස් තැරැව්කාර සමාගමක් සඳහා මෙහෙයුම් නිරවද්‍යතාවය පවත්වා ගැනීම, අවදානම් කළමනාකරණය සහ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සහතිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන අත‍ර ඉහළ ප්‍රමිතීන් පවත්වා ගනිමින් තම ගනුදෙනුකරුවන්ට උසස් සේවාවන් සැපයීමට එම සමාගමෙහි කැපවීම මෙම සහතිකකරණය මගින් තවදුරටත් ශක්තිමත් කරයි.

    මෙම ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය සමඟින් SC සෙකියුරිටීස් (පුද්ගලික) සමාගම කොටස් තැරැව්කාර ක්ෂේත්‍රය සඳහා ක්‍රමානුකූල මෙන්ම සේවාලාභීන්  කේන්ද්‍ර කරගත් සේවා ආකෘතියක් ක්‍රියාත්මක කිරීමට පුරෝගාමී වී ඇත. ඒ අනුව මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, වෙළඳ කටයුතු හැසිරවීමේ දෝෂ අවම කිරීම සහ පාරිභෝගික සේවා සහාය වැඩිදියුණු කිරීම මගින් සමාගමට තම ගනුදෙනුකරුවන්ට වඩාත් ස්ථාවර සහ විශ්වාසදායක සේවා අත්දැකීමක් ලබා දීමට එම සමාගමට දැන් හැකියාව හිමිව තිබේ. ISO 9001:2015 තත්ත්ව කළමනාකරණයෙහි අන්තර්ගත ව්‍යුහාත්මක අවදානම් කළමනාකරණ ප්‍රවේශය මගින් SC සෙකියුරිටීස් හි වෙළඳ සේවා කටයුතු, අනුකූලතාව සහ සේවාලාභින් කළමනාකරණ අවදානම් අපේක්ෂණය සහ අවම කිරීමට ඉඩ සලසන අතර එමගින් එහි මෙහෙයුම් පදනම තවදුරටත් ශක්තිමත් කරයි.

    වසර දෙකක් පුරා ක්‍රියාත්මක මෙම සහතිකකරණ ක්‍රියාවලිය සඳහා SC සෙකියුරිටීස් හි සභාපති සුනිල් ජී. විජේසිංහ මහතාගේ මගපෙන්වීම, අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන්ත ප්‍රනාන්දු මහතාගේ කැපවීමද තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබේ. එම කෙටි උත්සවයේදී අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී රොෂාන්ත ප්‍රනාන්දු මහතා SC සෙකියුරිටීස් ආරම්භයෙහි පටන් මේ දක්වා සහයෝගය ලබාදුන් සියලුම සේවාලාභීන්  සහ පාර්ශවකරුවන් හට සිය කෘතඥතාව පළකර  සිටි අතර කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතුකළ සේවක මණ්ඩලයෙහි කැපවීමද අගය කළ අතර කොටස් තැරැව්කාර ක්ෂේත්‍රයෙහි ISO 9001 : 2015 තත්ත්ව සහතිකය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකේය කොටස් තැරැව්කාර සමාගම ලෙස SC සෙකියුරිටීස් පත්වීම සාමූහික ජයග්‍රහණයක් මෙන්ම විශිෂ්ටත්වය සඳහා වූ කැපවීමහි ප්‍රතිඵලයක් බවද සඳහන් කළේය.

    මෙම ISO සහතිකකරණය SC සෙකියුරිටීස් සමාගමෙහි කීර්තිය වැඩි දියුණු කිරීම පමණක් නොව, තත්ත්ව කළමනාකරණයෙහි ලෝක මට්ටමේ ප්‍රමිතීන් පවත්වා ගැනීමට තම සමාගම කැපවී සිටින බව සිය සේවාලාභීන්ට, හවුල්කරුවන්ට සහ නියාමකයින්ට දක්වා සිටියි. එමෙන්ම ISO 9001:2015 රාමුව තුළ අන්තර්ගත අඛණ්ඩ වැඩිදියුණු කිරීම් කෙරෙහි වන සමාගමෙහි අවධානය කොටස් තැරැව්කාර කර්මාන්තයෙහි SC සෙකියුරිටීස් ඉදිරියෙන්ම සිටින බවට ද සහතික කරයි.

    SC සෙකියුරිටීස් (පුද්ගලික) සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකරණ කණ්ඩායම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සහතිකය ප්‍රදානය කළ අවස්ථාව මෙම මාධ්‍ය නිවේදනය සමඟ ඇති ඡායාරූපයේ දැක්වේ.