SDB බැංකුව සහ USAID සංවිධානය දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා නව සහයෝගීතාවයක

    September, 18, 2024

    ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ පාරිසරික, සමාජයීය සහ පරිපාලන තිරසාරත්වය සම්බන්ධයෙන් කීර්තියක් දිනූ බැංකුවක් වන SDB බැංකුව, පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳව ආයතනය හෙවත් USAID සංවිධානය සමඟ එම සංවිධානයේ දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගීතාවයකට එළඹියේය. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ දේශගුණික පරිවර්තනයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් SDB බැංකුව විසින් දක්වන කැපවීමට මනා උදාහරණයක් ලෙසින් දැක්විය හැකිය

    SDB සංවිධානය දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිය හවුල්කරු වන Tetra Tech ARD ආයතනය සමඟ එක්ව දේශගුණ අනුවර්තනය සඳහා පෞද්ගලික අංශයේ, සිවිල් සමාජයේ සහ රජයේ ශක්‍යතාවයන් වර්ධනය කිරීමට ක්‍රියා කරන අතර ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය යන ප්‍රධාන ආර්ථික අංශ තුන යටතේ වෙළඳපොළ සංවර්ධනය සහ අන්තර්ග්‍රහණය මත පදනම් වූ තිරසාර සංවර්ධනය ඉලක්ක කරයි.

    දේශගුණ අනුවර්තන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ දේශගුණය හා සම්බන්ධ අභියෝගයන් හඳුනාගෙන, ඊට සරිලන නව්‍ය විසඳුම් ඉදිරිපත් කිරීම, දේශගුණික විපර්යාසයන් හා සම්බන්ධ අවදානම් අවම කිරීම සඳහා පරිපාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සහ දත්ත පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව වර්ධනය කිරීම යන මූලික ඉලක්ක මත පදනම්ව ක්‍රියාත්මකය. SDB බැංකුව, විශේෂයෙන්ම කෘෂිකාර්මික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රවල, සිය පාරිභෝගික ජාලයන් තුළින් සුදුසුකම්ලත් පාරිභෝගිකයින් හඳුනාගනිමින්, ඔවුන්ට දේශගුණ අනුවර්තන වැඩසටහන් සඳහා අවශ්‍ය කෙරෙන මූල්‍ය පහසුකම් සහ සම්පත් ලබාදීමට කටයුතු කරනු ඇත. SDB බැංකුව සහ USAID සංවිධානය අතර සහයෝගීතාවය යටතේ මේ සඳහා SDB බැංකුවට අවශ්‍ය කෙරෙන සහයෝගය සහ සම්පත් USAID සංවිධානය විසින් ලබා දෙනු ඇත.

    එමෙන්ම USAID සංවිධානය විසින් දේශගුණික විපර්යාසයන් හා සම්බන්ධ අවදානම් අවම කරගනිමින් කෘෂිකාර්මික සහ ව්‍යාපාර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් SDB බැංකුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලයේ සහ SDB බැංකුවේ තෝරාගත් පාරිභෝගිකයින්ගේ ශක්‍යතාවය වර්ධනය කිරීමටද නියමිතය. එමෙන්ම මෙම සහයෝගීතාවය යටතේ කෘෂිකාර්මික වටිනාකම් දාමය සහ වෙළඳපොළ ශක්‍යතාවය මත පදනම් වූ මූල්‍ය නිෂ්පාදන හඳුන්වා දීමටද කටයුතු කෙරෙනු ඇත.

    ඒ අනුව SDB බැංකුව සහ USAID සංවිධානය අතර ඇති වූ මෙම නව සහයෝගීතාවය තිරසාර සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ තබන ලද දැවැන්ත පියවරක් වශයෙන් සැළකිය හැකි අතර ඒ වෙනුවෙන් SDB බැංකුවේ ඇති කැපවීම යලි තහවුරු කරන්නකි. එමෙන්ම මෙම නව සහයෝගීතාවය ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දිය හැකි දේශයක් බවට පත් කර ගැනීමේ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වශයෙන්ද සනිටුහන් වනු ඇත.

     

    ඡායාරූප විස්තරය - SDB බැංකුවේ සහ USAID සංවිධානයේ නිලධාරීන් අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාව