SEC සහ CSE විසින් පවත්වනු ලැබූ ඩුබායි හි “Invest Sri Lanka” ආයෝජක සම්මන්ත්‍රණයට මැදපෙරදිග ආයෝජක ප්‍රජාවගෙන් ඉහළ ප්‍රතිචාරයක්

    January, 30, 2026

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) එක්ව 2026 ජනවාරි 22 දින ඩුබායි නගරයේ පැවැත්වූ “Invest Sri Lanka” ආයෝජක සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවට පත් කරන ලදී. මෙම උපායමාර්ගික මැදපෙරදිග සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වූයේ ජාත්‍යන්තර ආයෝජකයින් වෙත ශ්‍රී ලංකාව ආකර්ෂණීය නැගී එන වෙළෙඳපොළක් (Frontier Market) ලෙස හඳුන්වාදීමයි. මෙම සම්මන්ත්‍රණය මඟින් ජාත්‍යන්තර ආයෝජකයින්ට මෙන්ම මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික ආයෝජක ප්‍රජාවට, ශ්‍රී ලංකාවේ ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය, ප්‍රාග්ධන ලාභ සම්පූර්ණයෙන්ම බදු වලින් නිදහස් කර තිබීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති ආකාරය ඉස්මතු කර පෙන්වීය.

    මෙම අවස්ථාවට  රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නියාමකයින්, වෙළෙඳපොළ ප්‍රධානීන්, අරමුදල් කළමනාකරුවන්, බැංකු නියෝජිතයින් සහ කලාපීය ආයතනවල නියෝජිතයින් එක්රැස් විය. සම්මන්ත්‍රණයට සමගාමීව, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව, මුබදලා ආයෝජන සමාගම (Mubadala Investment Company), අබුඩාබි සුරැකුම්පත් හුවමාරුව, වාණිජ මණ්ඩලය ඇතුළු ප්‍රධාන මැදපෙරදිග ආයතන සමඟ උපායමාර්ගික රැස්වීම් කිහිපයක් පැවැත්වීය. එම අවස්ථාවන්හිදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු සමඟ විදේශ ණය ලබා ගැනීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවැත්වීය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි, මහාචාර්ය එච්. ඊ. අරුෂා කුරේ මහත්මිය ඇයගේ පිළිගැනීමේ කතාවේදී අදහස් දක්වමින්, "ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාවය මෑත අතීතයේ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. ඒ් වගේම මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ නව අවධියකට පිවිස තිබෙනවා. පසුගිය වසරේ දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට සැලකිය යුතු අභියෝග එල්ල වුණා.  සුළි කුණාටුව අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජයට සහ එහි ජනතාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා." යැයි පැවසීය.

    ආයෝජන අවස්ථා පිළිබඳව කතා කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ හයවන විශාලතම ආයෝජකයා බවත්, හඳුනාගෙන ඇති පරිදි, සැපයුම්, බලශක්තිය, වරාය, තොරතුරු තාක්ෂණ, කෘෂිකර්මාන්තය, සංචාරක සහ දේපළ වෙළෙඳාම් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පුළුල් ආයෝජන අවස්ථා ඇති බවත් ඇය අවධාරණය කළාය. "අපගේ අවධානය ප්‍රධාන වශයෙන් යොමු වී ඇත්තේ විදේශීය සෘජු ආයෝජන (FDI) වෙතයි. මෙම නියෝජිත පිරිසගේ පැමිණීම පුළුල් ආයෝජනයන් සඳහා ඇති අවස්ථා පෙන්නුම් කරනවා."

    කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රේ අබේවර්ධන මහතා අදහස් දක්වමින් "සියලු කොටස් මිල දර්ශකයෙහි (ASPI) ඉහළ වර්ධනයක් අපි අත්වින්දා. අද, අපි මෙහි රැස්වන විටත්, එහි අගය ඒ්කක 23,800 කට වඩා වැඩි අගයක් ගන්නවා. එය ජනාධිපතිවරණයෙන් පසු 2024 ඔක්තෝබර් මාසයේ සිට විශ්මයජනක 120% ක වර්ධනයක් පෙන්නුම් කරනවා." යැයි පැවසීය. ප්‍රාග්ධන රැස්කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය, "2024 දී සමාගම් කොළඹ කොටස් හුවමාරුව හරහා  ඇමරිකානු ඩොලර් මිලියන 568 ක් රැස් කළා. 2025 දී තවත් ඇමරිකානු ඩොලර් මිලියන 408 ක් රැස් කළා. ඒ් අනුව මෙම වර්ෂ දෙක තුළ සමාගම් විසින් කොටස් වෙ‌ළෙඳෙපාළ හරහා රැස්කළ මුළු ප්‍රාග්ධනය සැලකිය යුතු ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 976 ක් දක්වා ඉහළ ගිය බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණක්. "මෙම තත්ත්වය නිසැකවම දිරිගන්වන සුළු බව මට විශ්වාසයෙන් යුතුව කිව හැකියි" යනුවෙන් ඔහු තහවුරු කළේය.

    "මෙම ආයෝජක ප්‍රජාව සමඟ සෘජුවම සම්බන්ධ වීමට සහ කොළඹ කොටස් හුවමාරුව හරහා දිගුකාලීන ආයෝජන සඳහා මාර්ග ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ඇති ආකර්ෂණීය අවස්ථාවන් ඉස්මතු කිරීමට අපි ඩුබායි හි “Invest Sri Lanka” සම්මන්ත්‍රණය පැවැත්වීමට තෝරා ගත්තා." යනුවෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා සිය ආරම්භක දේශනයේදී සම්මන්ත්‍රණය පැවැත්වීම පිටුපස ඇති තාර්කිකත්වය ඉස්මතු කළේය. "ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව ලෙස, විනිවිදභාවයෙන් යුත්, කාර්යක්ෂම සහ සැමටම ප්‍රතිලාභ ලැබිය හැකි ප්‍රාග්ධන වෙළෙඳපොළ පරිසර පද්ධතියක් බිහි කිරීම සඳහා අපි දැඩි ලෙස කැපවී සිටිනවා. "අද මෙම සම්මන්ත්‍රණය ආයෝජන අවස්ථා ගැන පමණක් නොව; එය අපගේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරන අතරම ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට හා මූල්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා අපගේ සාමූහික කැපවීම තවදුරටත් පිළිබිඹු කරනවා," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

    කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ගරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා රැස්ව සිටි පිරිස වීඩියෝ දේශනයක් හරහා අමතමින් මෙසේ පැවසීය, "2025 වර්ෂයේදී, අපි බොහෝ ක්ෂේත්‍රවල ස්ථාවරත්වය සහ ඉහළ කාර්ය සාධනය සමඟ ගමන් කළා. දේශපාලන ස්ථාවරත්වය තුළ, අපි යහපාලනය, පිරිසිදු දේශපාලනය, විවෘතභාවය, වෘත්තීය හැසිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම පෙන්නුම් කර තිබෙනවා.  එමඟින් මහජන අවශ්‍යතා ආරක්ෂා කර ගත යුතු ආකාරය සහ ඒවා ආරක්ෂා කළ යුතු ආකාරය පෙන්නුම් කර තිබෙනවා" යනුවෙන් ඔහු විස්තර කළේය. ආර්ථික ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය, "ආර්ථික ස්ථායිකරණය සම්බන්ධයෙන් ගත් කල, එය අපට ඇති ලොකුම අභියෝගය වුණා, මන්ද අපට රට ආර්ථික අගාධයෙන් පිටතට ගැනීමට අවශ්‍ය වුණා". ඔහු අවධාරණය කළේ, "2025 වර්ෂය දෙස බලන විට, සියලුම සාර්ව ආර්ථික විචල්‍යයන්, ක්ෂුද්‍ර ආර්ථික දර්ශක මගින් අප ඉලක්ක කරගත් ස්ථාවරත්වය ලබා ගත්තා පමණක් නොව, වසර පුරා ස්ථාවර ඉහළ කාර්ය සාධනයක් සමඟ අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව සනාථ වෙනවා".

    රජයේ ඉදිරි දර්ශනය ගැන අදහස් දක්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා මෙසේ පැවසීය: “මෑත කාලීන ආර්ථික අවිනිශ්චිතතාවයෙන් පසු ශක්තිමත්ව හා විනයගරුකව නැවත ගොඩනැගෙමින් ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික වර්ධනයක අවධියකට පිවිසෙමින් සිටිනවා. අද වන විට ආර්ථිකය වඩ වඩාත් පුරෝකථනය කළ හැකි අතර, ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක නිවැරදි දිශාවට ස්ථිරව ගමන් කරනවා”.

    ආයෝජන ප්‍රතිලාභ පිළිබඳව කතා කරමින් ඔහු ප්‍රකාශ කළේ, කර්මාන්ත ප්‍රසාරණය වීමත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි වේගවත් වර්ධනයත් හේතුවෙන් දැනටමත් ප්‍රාග්ධන වෙළඳපොළවල සාමාන්‍යයට වඩා ඉහළ ප්‍රතිලාභ අත්කර දෙමින් , උපායමාර්ගික සහ කළඹ ආයෝජකයින් (Portfolio Investors) යන දෙපිරිසටම ආකර්ෂණීය ආයෝජන අවස්ථා සැළසී ඇති බවත්ය.

    සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, 2026 සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සම්මන්ත්‍රණය සඳහා සහභාගීවූන්ට විස්තර කළේය. ඔහු මෙසේ පැවසීය, "2025 වර්ෂයේ 4 වන කාර්තුවේ දී දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් යම් කම්පනයක් ඇති වූ බව අපි කවුරුත් දන්නවා, තවමත් 2025 වර්ධනය 5% ට ආසන්නයි. ඉදිරිය දෙස බලන විට, ඔහු සඳහන් කළේ, " 2026 දී ඉදිරියට යන විට අපි වර්ධනයේ එම ප්‍රවණතාවයටම නැවත පැමිණෙනවා.  මන්ද ඒ් සඳහා තිබෙන හැකියාව පැහැදිලිවම එහි තිබෙනවා." ඇමතිවරුන් දෙදෙනා විසින් මූලික වශයෙන් සඳහන් කරන ලද සියලුම ප්‍රතිසංස්කරණ සමඟ වර්ධනය සඳහා ඇති හැකියාව 4% සිට 5% දක්වා, මධ්‍ය කාලීනවත් සමහර විට 6% සිට 7% දක්වා වැඩි වීමටත් ඉඩ තිබෙනවා ." ඔහු අවධාරණය කළේය.

    "ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ වර්ධනයේ ඊළඟ අදියර" යන මැයෙන් ලීනියර් වෙල්ත් මැනේජ්මන්ට් හි සම-නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නවීන් ගුණවර්ධන මහතා වෙළෙඳපොළ පිළිබඳ ඉදිරි දර්ශනයක් ලබා දෙමින්, "IMF වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ප්‍රමාද වී තිබූ ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.  එමඟින් රට සාර්ව ආර්ථික කළමනාකරණයේ නව ආදර්ශයකට ගෙන ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව දැනටමත් සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ කාල පරිච්ඡේදයක් අත්විඳිමින් සිටිනවා.  මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමත් සමඟ, වත්මන් IMF වැඩසටහනේ කාලසීමාවෙන් ඔබ්බට වුවද, දීර්ඝ සාර්ව ස්ථාවරත්වයක් රටට අත්විඳිය හැකි බව අපි විශ්වාස කරනවා." යැයි ඔහු අවධාරණය කළේය. මෙවැනි පරිසරයකදී, ස්ථාවර හා වෙළෙඳපොළ විසින් මෙහෙයවෙන පොලී අනුපාත සහ මුදල් ඒකකයක්ද අපේක්ෂා කළ හැකි බව ඔහු පැහැදිලි කළේය.

    "ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉදිරි දැක්ම" යන තේමාව යටතේ පැවති ඉහළ මට්ටමේ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අංගය වූ අතර එය මෙහෙයවනු ලැබුවේ කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසිනි. මෑත කාලීන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු කළ ආයෝජන යටිතල පහසුකම් සහ 2026 දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට යන විට තිරසාර ආයෝජන සඳහා සහාය වන ශක්තිමත් පරිසර පද්ධතියක් ප්‍රදර්ශනය කරමින්, වෙළෙඳපොළේ ඔරොත්තු දීමේ හැකියාව සහ වර්ධනය සඳහා තිබෙන හැකියාව පිළිබඳ විද්වත් මණ්ඩලය විසින් පුළුල්ව සාකච්ඡාවට ගන්නා ලදි. සම්මන්ත්‍රණයට සහභාගිවූවන් නියාමකයින් සහ කොටස් තැරැව්කරුවන් සමඟ සෘජුවම සම්බන්ධ  වීම කැපී පෙනුනි.

    ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රධාන කොටස් මිල දර්ශක දෙක වන සියළු කොටස් මිල දර්ශකය (ASPI) සහ S&P SL20  දර්ශකයන්හී සහ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයේ වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟා වීම සම්බන්ධයෙන්ද විද්වත් මණ්ඩල සාකච්ඡාවේදී වඩාත් අවධානයට යොමු විය. ශක්තිමත් කොටස් මිල දර්ශක ක්‍රියාකාරිත්වය, ඉහළ ගිය කොටස් වෙළෙඳපොළ පිරිවැටුම, සැලකිය යුතු ප්‍රාග්ධන රැස්කිරීම් සහ ආකර්ශනීය තක්සේරු කිරීම් මගින් නැගී එන කොටස් වෙළඳපොළක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය එහිදී අවධාරණය කෙරිණි.

    “Invest Sri Lanka” ආයෝජක සම්මන්ත්‍රණ, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර ආයෝජක උපාය මාර්ගයන්හී කොටසක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළට ගෝලීය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සහ දිගුකාලීන ප්‍රාග්ධන ගලා ඒම පවත්වා ගැනීම සඳහා මෙවැනි සම්මන්ත්‍රණ 2026 වසර පුරා සැලසුම් කර ඇති බවද මෙහිදි අවධාරණය කෙරිණි.