Siemens සමාගම ශ්‍රී ලංකාව හා අත්වැල් බැඳගනී

    May, 31, 2016

    මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි.

    මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සහ Siemens සමාගම ස්මාර්ට් නගර , සහ නව නගර සැලසුම් ඇතුළත් බස්නාහිර මෙගා පොලිස් සැලස්ම පිළිබඳ සංකල්පීය අධ්‍යයනයක් කිරීම සඳහා සාකච්ඡා අරඹයි.

    ලොව පුරා ස්මාර්ට් නගර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා වන Siemens සමාගම මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමෙන් සිය සබදතාව ශක්තිමත් කර ගනියි. මේ අනුව බස්නාහිර පළාතේ නගර නිර්මාණයේදී ජාත්‍යන්තර අත්දැකීම් සහිත Siemens සමාගම සිය විශේෂඥ දැනුම,අත්දැකීම්,නව්‍යතා සහ නව අදහස් මඟින් ස්මාර්ට් නගර සංකල්පයක් පිලිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.

    මෙම අවබෝධතා ගිවිසුමට බස්නාහිර පළාතේ මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධක්ෂ, කණ්ඩායම් නායක ලක්ෂ්මන් ජයසේකර මහතා, Siemens සමාගමේ ශ්‍රී ලංකා කළමණාකරු අනිරුද් තන්ඩන් මහතා අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ ආයෝජන ප්‍රධානී නයන මාවිල්මඩ, නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එම් එම් අනුර ප්‍රසන්න, Siemens ඉන්දියා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සුනිල් මතූර්, සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ යන මහත්වරු එක්ව සිටියහ.

    මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රමුඛ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ විධිමත් ලෙස වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමයි. නාගරික ජනසමාජයන් හි ජීවන තත්වය නංවාලමින් සමාජ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම මෙහිදී සැලසුම් කෙරේ.මෙම වැඩසටහන ශ්‍රී ලංකාව ආසියාවේ වෙළද, නාවික සහ ගුවන් යන අංශ වල මධ්‍යස්ථානය බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වෙයි.

    මෙම සංකල්පය යටතේ ඉදිරි වසර 5 තුළ සමස්ත බස්නාහිර පළාත පුරාම පුළුල් සංවර්ධනයක් සිදුකෙරේ. අමත්‍යංශය සතු විෂය පථයට අනුව ජෛව- භූගෝලීය හා භෞතික සාධක මෙන්ම සමාජ ආර්ථික අපේක්ෂාවන්ද නිරූපණය කෙරෙන පුළුල් සැලසුමක් බස්නාහිර පළාත පුරාම ක්‍රියාත්මක කෙරේ.

    බස්නාහිර පළාතේ මෙගාපොලිස් සංවර්ධන කටයුතු කේන්ද්‍රගත වන්නේ දිගුකාලීනව හොඳින් ස්ථාපනය කළ ශ්‍රී ලංකාවේ තිරසාර ආනාගතය පිළිබඳව වන මනා සැලසුමක් යටතේය. නාගරිකකරණයට පොදු ලක්ෂණ වන කුණු කසල ප්‍රශ්නය, පැල්පත් සහ මුඩුක්කු, බලශක්තිය, රථවාහන තදබදය, පාරිසරික සහ රැකීරක්ෂා ආදී ගැටලු වලට ස්ථාවර විසඳුම් මෙම මෙගාපොලිස් සංවර්ධන සැලැස්ම යටතේ ඉදරිපත් කෙරේ.

    බස්නාහිර කලාපීය මෙගාපොලිස් සැලසුම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ / කණ්ඩායම් නායක ලක්ෂ්මන් ජයසේකර මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙලේදී ප්‍රමුඛ සමාගමක් වන Siemens හා කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටට පත්වන බවයි.විශේෂයෙන්ම නාගරික යටිතල පහසුකම් ,සේවා සහ පරිසරය සැකසීම සහ ඒකක පිරිවැය අවමකර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් Siemens සමාගම සතු විශේෂඥ දැනුම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මහඟු පිටුබලයක් වනු ඇති බව හෙතෙම සඳහන් කරයි.

    ඉන්දියාවේ Siemens සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සුනිල් මතූර් සඳහන් කලේ ශ්‍රී ලංකා රජය සහ මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාතයංශය හා කටයුතු කිරීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකන බවයි. ඉහළ ආදායම් ලබන ජාතියක් බවට පත්වීමට ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයේ ජාත්‍යන්තර විශේෂඥ කොටස් කරුවෙකු වීමට ලැබීම විශේෂ අවස්ථාවක් ලෙස සලකන බව ද හෙතෙම සඳහන් කළේය. අත්දැකීම් සහ පළපුරුද්ද අනුව Siemens සමාගම නගරයන් වඩා තිරසාර ලෙස සහ තරඟකාරී ලෙස ජීවත්වීමට සුදුසු නගර බවට පත්කිරීම පිළිබඳව පුළුල් දැනුමක් සහ අවබෝධයක් සහිතව කටයුතු කරන බව හෙතෙම පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කලේ දිගු කලක් තිස්සේ සිය සමාගම හා කටයුතු කරන Siemens සමාගම තාක්ෂණික සහයෝගහ සඳහා මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය හා අවබෝධතා ගිවිසුමකට එළඹීම සුවිශේෂි අවස්ථාවක් බවයි. ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අභිලාශයන් සාක්ෂාත් කරගැනිම සඳහා ඩීමෝ හා එක්ව Siemens සමාගම උපරිම සහයෝගයක් ලබාදෙන බවට සහතික වන බව ඒ මහතා පැවසීය.

    අමාත්‍යංශයේ සැලසුම් වලට අනුව බණ්ඩාරගම,කඩවත , කොට්ටාව සහ කෙරවලපිටිය යන නගර නව නගර ලෙස සංවර්ධනය කෙරෙන අතර දැනට ඉදිවෙමින් පවතින පිටත වටරවුම් අධිවේගී මාර්ගය මඟින් මෙම නගර යා කිරීම සිදුවෙයි. බස්නාහිර කලාපීය මෙගාපොලිස් සංවර්ධන සැලසුම යටතේ දිගුකල් පවතින මනා ලෙස ස්ථාපනය කෙරෙන තිරසාර අනාගතයක් සඳහා වන නාගරිකකරණය කිරීමක් සිදුකෙරේ.

    කලාපීය වශයෙන් වන නාගරික අවශ්‍යතා මැනවින් වටහා ගනිමින් ඊට ගැලපෙන ක්‍රමවේද සහ විසඳුම් ඉදිරිපත් කරමින් Siemens සමාගම මෙම කාර්යය සඳහා මූලිකත්වය ගැනීමට නියමිත ය. රජය,දේශිය කර්මාන්ත කෂේත්‍රය සහ ව්‍යාපාරික සහකරුවන් හා එක්වී මේ සඳහා වන නියාමන ව්‍යාපෘති රැසක් මෙම සමාගම විසින් මේ වන විට දියත් කර තිබේ. මේ හරහා නවීන තාක්ෂණික ප්‍රතිලාභ රැසකට උරුමකම් කීමට පුරවැසියන්ට අවස්ථාව ලැබෙනු ඇත.

    තිරසාර නගර සංවර්ධනය අතින් ලොව පෙරමුණ ගෙන සිටින Siemens සමාගම නවීන ස්මාර්ට් සැලසුම්, ගොඩනැගිලි තාක්ෂණය, ජංගම සහ බලශක්ති සම්පාදනය, යනාදී ක්ෂේත්‍ර කෙරෙහි ප්‍රවීණතාවක් දක්වයි.වියෙනා සහ නිව්යෝර්ක් යන නගර ස්මාර්ට් නගර බවට පත්කිරීමේ ප්‍රමුඛයා වන්නේද Siemens සමාගමයි. ඉන්දීය රජය හා එක්ව බලශක්ති සංවර්ධනය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන් (R-APDRP) ප්‍රති සැලසුම් කිරීම සඳහා ද Siemens සමාගම මේ වන විට මූලික වී තිබේ.මේ යටතේ ඉන්දියාවේ නගර රැසක් ස්මාර්ට් සැලසුම් යටතේ සංවර්ධනය කිරීම සිදුවෙයි.එමෙන්ම ඉන්දීය දුම්රිය සේවය සඳහා දශක 6කට අධික කාලයක් පුරා තාක්ෂණික විසඳුම් සපයන්නා ලෙස ද කටයුතු කරනුයේ Siemens සමාගම යි.වසර ගණනාවකට ඉහත දී මෙට්රෝ දුම්රිය සේවාව ස්ථාපිත කරමින් සහ මොබිලිටි පහසුකම් හඳුන්වා දෙමින්, ගුවන් යානා,මගී ප්‍රවාහනය,දුම්රිය සේවය සහ නඩත්තු කිරීම් ,නාගරික රථවාහන තදබදය පාලනය කිරීම සහ දුම්රිය සංඥා සහ වෙනත් ප්‍රවාහන විසඳුම් සඳහා තාක්ෂණික දායකත්වය ලබාදුන්නේ ද Siemens සමාගම විසිනි.