SIM කාඩ් නිසි පරිදි ලියාපදිංචියට රජයෙන් පියවර

    August, 23, 2017

    ජංගම දූරකථන සිම් (SIM) කාඩ්පත් ලබා දීමේදී ඒවායේ අයිතිකරුගේ නිවැරදි විස්තර ඇතුළත් අවශ්‍ය ලියකියවිලි රහිතව ලබා දෙනු ලැබූ සක්‍රීය සබඳතා විශාල ප්‍රමාණයක් වර්තමානයේ ජංගම දුරකථන සේවා සපයන සමාගම් යටතේ ජාලගතව පවතින බව නිරීක්ෂණය වී ඇති බව රජය කියයි.

    මෙහිදී වැඩිදුරටත් රජය අවධාරණය කර සිටින්නේ ජංගම දූරකථන භාවිත කරමින් සිදු කරනු ලබන විවිධ අපරාධ හා වංචනික ක්‍රියාවන් මැඬපැවැත්වීමටත්, ජාතික ආරක්ෂාව හා මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහාත් අනන්‍යතාව තහවුරු කරගත හැකි තොරතුරු සහිතව ජංගම දූරකථන ග්‍රාහකයින් ලියාපදිංචි කර ලීම අත්‍යවශ්‍ය බවයි.

    ඒ අනුව, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පතක් හා සිම් කාඩ්පත භාවිත කරන තැනැත්තාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් ඇතුළු අවශ්‍ය ලියකියවිලි ලබාගෙන සිම් කාඩ්පත් ලියාපදිංචි කරලීමේ කාර්යපටිපාටිය අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ජංගම දූරකථන සේවා සපයනු ලබන සමාගම් වෙතින් දැනටමත් ඉල්ලීමක් කරනු ලැබ ඇත.

    එම කාර්යපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ලීම සඳහා 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන යටතේ විෂය භාර අමාත්‍යවරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීමටත්, එම කාර්යපටිපාටිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරි බලය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැවරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරතිබේ.