Sinopec සමාගමේ Clear Spring ව්‍යාපෘතිය වෙතින්, ගංවතුරින් ආපදාවට ලක්වූ ජනතාවට කඩිනම් ජල පහසුකම්

    December, 15, 2025

    ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට බෝතල් කළ පානීය ජලය ලීටර් 75,000ක් පරිත්‍යාග කරමින් සහන කටයුතු සඳහා සහාය වීමට Sinopec සමාගම කටයුතු කරනු ලැබීය. ව්‍යසනයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල පිහිටා ඇති Sinopec පිරවුම්හල් ජාලය හරහා මෙම වැඩසටහන රට පුරා දියත් කරන ලදී. රටේ බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විවිධ බාධාවන් මතුව තිබූ තත්ත්වයක් යටතේ, පිරිසිදු පානීය ජලය ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත්ව තිබුණි.

    Sinopec සිය පිරවුම්හල් ජාලය මඟින් ජනතාවට අඛණ්ඩව ඉන්ධන සැපයුම ලබා දුන් අතර, ඊට සමගාමීව පානීය ජල අවශ්‍යතා ඇති ජනතාවට ජලය සැපයීම සඳහා සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන වන Clear Spring යටතේ කඩිනමින් කටයුතු සලසනු ලැබීය. මහනුවර, බදුල්ල, ආරච්චිකට්ටුව, අනුරාධපුර, යාපනය, බියගම, කඩුවෙල සහ කැලණිය ඇතුළු දැඩි ලෙස පීඩාවට පත් කලාප කිහිපයක පිරවුම්හල් සහ හවුල්කාර පාර්ශව හරහා ජල බෝතල් බෙද හැරීම සිදු කරන ලදී. ඊට අමතරව, රාජ්‍ය අංශයේ පුළුල් සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වෙමින්, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගම්පොල තරුණ මධ්‍යස්ථානය, කුරුණෑගල පළාත් සභාව සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන කාර්යාල වෙත ජල පරිත්‍යාග සෘජුවම ලබා දෙන ලදී.

    ගංවතුරෙන් විපතට පත් පවුල්වලට ජල සහනාධාර බෙදාදීම සඳහා බියගම Sinopec කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයින් සමඟ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද පෞද්ගලිකවම එක් වීම, මෙම පරිත්‍යාගශීලී මෙහෙයුමට තවත් වැඩි වැදගත්කමක් ලබා දුන්නේය. රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයත් සහ Sinopec කාර්ය මණ්ඩලයේ කාර්යශූර ස්වේච්ඡා සේවයත් නිසා මෙම කර්තව්‍යය ඉතා සාර්ථකව අවසන් කරගැනීමට හැකි විය. මෙම සාමූහික සත්කාරය, ජාතික අර්බුදයකදී බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශවල සහයෝගීතාවයේ වැදගත්කම කැපී පෙනුණු අවස්ථාවක් ද විය.

    මෙම ජල පරිත්‍යාගය Sinopec සමාගමේ පුළුල් මානුෂීය සහයෝගයේ කොටසක් වන අතර, මෙය රට පුරා අඩු පහසුකම් සහිත ප්‍රදේශවලට ජල පෙරන පහසුකම් සැපයීම අරමුණු කරගනිමින් සමාගම විසින් දියත් කළ Clear Spring නම් වූ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරිණ. මෙම වසර මුලදී, මඩු, මන්නාරම සහ අනුරාධපුර යන ප්‍රදේශවල ජල පෙරහන් ඒකක දෙකක් ස්ථාපනය කළ අතර, ඉදිරියේදී තවත් ස්ථාන සඳහා මෙම ඒකක ලබා දීමට Sinopec සමාගම කටයුතු කරමින් සිටියි.

    ගංවතුරෙන් බොහෝ ජල සැපයුම් පද්ධති හානියට සහ අවදානමට ලක්ව ඇති බැවින්, පිරිසිදු පානීය ජලය සඳහා කඩිනම් පහසුකම් සැපයීම මහජන සෞඛ්‍යය හා සුබසාධනය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක පළමු පියවරකි. ශ්‍රී ලංකාව යලි යථා තත්ත්වයට පත් කිරීමේ දැවැන්ත ජාතික මෙහෙවරට දායක වෙමින්, පිරිසිදු ජල පහසුකම් හා ප්‍රජා සහාය ලබා දෙමින් Clear Spring ව්‍යාපෘතිය තව දුරටත් වර්ධනය කරන්නට Sinopec සමාගම අපේක්ෂා කරයි.

     

    ඡායාරූප විස්තරය - බලශක්ති අමාත්‍ය ගරු කුමාර ජයකොඩි සහ Sinopec විධායක අධ්‍යක්ෂ Hao Jian