“Sinopec Clear Spring” සමාජ සත්කාරක වැඩසටහන තුලින් මඩු දේවස්ථානයට හා වන්දනාකරුවන්ට පිරිසිදු පානීය ජලය ලබා දෙයි

    August, 19, 2025

    උතුරු පළාත, ශ්‍රී ලංකාව - 2025 අගෝස්තු 16 - සියලු ශ්‍රී ලාංකිකයින්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් සිනෝපෙක් සමාගම,  “Sinopec Clear Spring”  සමාජ සත්කාරක ව්‍යාපෘතිය පසුගියදා දියත් කළේය. එහි පළමු පියවර ලෙස මඩු දේවස්ථානයට හා එහි පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට කටයුතු කරන ලදී. ඒ මඩු දේවස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් හා අවට ප්‍රජාව වෙනුවෙන් මඩු මාතා පිරවුම්හලට ජල පිරිපහදු ඒකකයක් පරිත්‍යාග කර ස්ථාපිත කරමිනි. මෙම අවස්ථාව සඳහා මන්නාරම රදගුරු පූජ්‍ය ආචාර්ය ඇන්තනීපිල්ලෙයි ඥානප්‍රගාසම් පියතුමා සහ පරිපාලක පූජ්‍ය පෙපි සොසායි පියතුමන් ද එක් වූහ.

    වසර ගණනාවක් පුරා මඩු දේවස්ථානයට පැමිණෙන අතරතුරදී වන්දනාකරුවන්ට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව තිබිණ. මෙම සංචාරයට එක් වන බොහෝ දෙනා දැඩි හිරු රශ්මිය මධ්‍යයේ බොහෝ වේලාවක් රැඳී සිටින බැවින් ඔවුන්ට පිරිසිදු පානීය ජලය අත්‍යාවශ්‍ය විය. මේ පිළිබඳව අවධානය යොමු කළ සිනෝපෙක් සමාගම දිනකට ජලය ලීටර් 5000ක් දක්වා  පිරිපහදු කළ හැකි නවතම ජල පිරිපහදු ඒකකයක් මඩු පදිංචිකරුවන් හා වන්දනාකරුවන් වෙත ලබා දීමට කටයුතු කළේය. ඒ හරහා වන්දනාකරුවන්ට තමන් ගෙන ආ බෝතල් සහ භාජනවලට පිරිසිදු ජලය නැවත පුරවා ගැනීමට හැකියාව උදා විය. මෙහිදී වන්දනාකරුවන් මෙන්ම අවට පදිංචිකරුවන්ද පෙන්වා දුන්නේ මෙම ජල පිරිපහදු ඒකකය ස්ථාපිත කිරීම ඉතා කාලෝචිත හා ප්‍රයෝජනවත් කාර්යයක් බවයි. ඒ හේතුවෙන් වන්දනා කාලය තුළ සංචාරකයින්ට දැනෙන උණුසුම අවම කිරීමටත් වන්දනා සමයෙන් පසු ප්‍රදේශවාසීන්ට අඛණ්ඩව පිරිසිදු පානීය ජලය ලබා ගැනීමටත් අවස්ථාව උදා විය.

    දිවයිනේ වියළි කලාපයන්හි පානය කිරීමට අවශ්‍ය භූගත ජලය හිඟ ප්‍රදේශයන්හි ජනතාව පිළිබඳව  “Sinopec Clear Spring”  සමාජ සත්කාරක සේවාව අවධානය යොමු කරයි.  මේ සඳහා චීන - ශ්‍රී ලංකා ජල මධ්‍යස්ථානය (චීන විද්‍යා ඇකඩමියේ වැඩසටහනකි) විසින් මෙහෙයවනු ලබන නැනෝ පෙරහන් තාක්ෂණය ශ්‍රී ලංකාවට ගැලපෙන ආකාරයෙන් යොදා ගැනීමට ඔවුන් කටයුතු කරයි.  අත්‍යාවශ්‍ය ඛනිජ ලවණ ආරක්ෂා කරගනිමින් මඩු මාතා පිරවුම්හලේ ජල පිරිපහදුව තුලින් මසකට ලීටර් 150,000ක් දක්වා පානීය ජලය ලබා දීමට සිනෝපෙක් සමාගම කටයුතු කරනු ලබයි. එසේම ජලයේ බොර සහිත බව, කැල්සියම් සංයුතිය සහ බැර ලෝහ අවම කිරීම සඳහා විවිධ ස්ථරයන්හි පිරිසිදු කිරීමේ ක්‍රමවේදයන් භාවිත කරන ඔවුන් අවසාදිත හා සක්‍රිය කාබන් පූර්ව පෙරණ, නැනෝ  පෙරහන් පටල සහ UV පිරිසිදු කිරීමේ තාක්ෂණයන් ඊට යොදා ගනී.

    ‘ඉන්ධන මෙන්ම ජලයේද සෑම බිඳුවකම වටිනාකමක් ඇත’ යන්න තේමා කර ගනිමින් ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය තුලින් ජනතාවට පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නංවනු ලබයි. ඒ වෙනුවෙන් විශේෂයෙන් උතුරු මැද සහ නැගෙනහිර පළාත්හි පිරිසිදු පානීය ජල අවශ්‍යතා සහිත ප්‍රදේශ හඳුනාගනිමින්  “Sinopec lear Spring”  සමාජ සත්කාරක ව්‍යාපෘතිය තුලින් අවශ්‍ය පිරිසිදු පානීය ජලය ලබා දීමට බලාපොරොත්තු වේ.

    “Sinopec Clear Spring”  සමාජ සත්කාරක ව්‍යාපෘතිය රජයේ Clean Sri Lanka වැඩපිළිවෙලට අනුකූලව ක්‍රියාත්මක වේ. මීට පෙර දිවයින පුරා සිනෝපෙක් පිරවුම්හල්හි සියලු දෙනාට භාවිත කළ හැකි වැසිකිලි පහසුකම් ස්ථාපිත කිරීමෙන් පසු සිනෝපෙක් විසින් ක්‍රියාත්මක කරන දෙවන සමාජ සත්කාරක ව්‍යාපෘතිය ලෙසද  “Sinopec Clear Spring”   හඳුන්වා දිය හැකිය. මේ සඳහා සුදුසු පිරිසිදු පානීය ජල අවශ්‍යතාවන් සහිත ප්‍රදේශ හඳුනාගැනීම, භාවිතය නිරීක්ෂණය කිරීම සහ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීම සඳහා සිය අලෙවිකරුවන් හා පළාත් පාලන ආයතන සමඟ කටයුතු කිරීමට සිනෝපෙක් බලාපොරොත්තු වේ.

    පූජ්‍ය පෙපි සොසායි පියතුමා විසින් මන්නාරමේ මඩු ප්‍රදේශයේ ප්‍රජාව වෙනුවෙන් ජල පිරිපහදු ඒකකය  විවෘත කළ අයුරු

     

    ඡයාරූප හා විස්තරය - පිරිසිදු පානීය ජලය සපයා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම වෙනුවෙන් සිනෝපෙක් සමාගම,  “Sinopec Clear Spring”  සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කළ මොහොත