SLIIT උසස් අධ්‍යාපන ආයතනය, කොවිඩ් වසංගතයෙන් අනතුරුව දේශීය ආර්ථිකය ගොඩනැංවීමට තම උපාධිධාරීන් සවිබලගන්වයි

    May, 20, 2020

    ගෙවුණු මාස කිහිපය ඇතුළත මිනිසුන් ගෝලීය වශයෙන් මුහුණදෙන ප්‍රධානම අර්බුදය බවට කොවිඩ්-19 වසංගතය පත්ව තිබේ. එදිනෙදා ජීවිතය තුළ අප කරන කියන සෑම කටයුත්තකදීම ඒ පිළිබඳව සැළකිලිමත් වීම ද අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ ද දැනට පවතින රෝග ව්‍යාප්ති වාතාවරණය මෙරට සමාජයේ සෑම කොටසකට ම බලපාන අලුත් අභියෝග රැසක් නිර්මාණය කර අවසන් ය.

    මෙම පසුබිම තුළ දැනට පවත්නා ව්‍යාපාර මෙන්ම අනාගත ව්‍යාපාර සඳහා ද ඊ වානිජ දොරටු නිර්මාණය කිරීමේ දැනුම හා කුසලතාව ඇති පිරිස් සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් විවර වෙනු ඇත. මෙසේ නව ඊ වානිජ ව්‍යාපාර මාදිලි ගොඩනැංවීමේදී තොරතුරු තාක්ෂණය මෙන්ම ව්‍යාපාර කළමනාකරණ යන අංශ දෙකම එකතුවීමෙන් සෑදෙන කුසලතා හා දැනුම සඳහා විශාල පිළිගැනීමක් හිමිවනු ඇත.

    කොවිඩ් වසංගතය ජයගැනීමෙන් පසු, තොරතුරු තාක්ෂණය, දත්ත විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරු, පරිගණක ජාලකරණ, තොරතුරු පද්ධති, ව්‍යාපාර හා පද්ධති විශ්ලේෂණ, බහුමාධ්‍ය හා සයිබර් ආරක්ෂණ වැනි අංශවල විශේෂඥ දැනුමක් ඇති වෘත්තීකයින්ට ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා දැවැන්ත ඉල්ලුමක් නිර්මාණය වනු ඇතැයි දැනටමත් පුරෝකථනය වී තිබේ.

    මේ තත්ත්වය මත, කොවිඩ්-19 අර්බුදය ජයගැනීමෙන් පසු සෞඛ්‍ය, යහපැවැත්ම, පරිගණක හා ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල මතුවන අවශ්‍යතාවන් පූරණය කිරීමට හැකි අනාගත පරම්පරාවක් බිහිකරනු වස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT කැපවී සිටී.

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට SLIIT පරිගණක අධ්‍යයන පීඨයෙන් ලබාදී ඇති දායකත්වය අති මහත් ය. ගෙවුණු වසර 20ක කාලය තුළ මෙරට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායේ 60%ක් බිහිකිරීමට SLIIT ආයතනය සමත්වීම ඊට කදිම සාක්ෂියකි. එවැනි සාර්ථකත්වයකට හේතුසාධක වී ඇත්තේ, SLIIT හරහා පිරිනැමෙන තොරතුරු තාක්ෂණය හා පරිගණක පිළිබඳ විවිධ උපාධි පාඨමාලා ඇසුරෙන් ඊ වානිජ්‍ය හා වැඩිදියුණු කළ තාක්ෂණික අංශ පිළිබඳ පුළුල් දැනුමක් සිසුන්ට හිමිවීම ය.  

    මීට අමතරව තොරතුරු තාක්ෂණය, මෘදුකාංග ඉංජිනේරු, පරිගණක පද්ධති සහ ජාලකරණ ඉංජිනේරු, තොරතුරු පද්ධති ඉංජිනේරු, අන්තර්ක්‍රියා මාධ්‍ය සහ සයිබර් ආරක්ෂණ වැනි අංශ හරහා විශේෂවේදී උපාධි හතක් SLIIT පරිගණක විද්‍යා පීඨය පිරිනමයි. දත්ත විද්‍යා උපාධි පාඨමාලාව එම පාඨමාලා ගොනුවේ නවතම සාමාජිකයා වේ. ඉදිරියේදී පරිගණක විද්‍යාව හා පරිගණක පද්ධති ඉංජිනේරු වැනි පාඨමාලා ද හඳුන්වාදීමට නියමිත ය.

    “අනාගත ශ්‍රම බලකායේ අවශ්‍යතා බලගැන්වීමටත්, හොඳින් පවත්වාගෙන යෑමටත් අවශ්‍ය ප්‍රවීණත්වය ලබාදීමට අප සතු කැපවීම මෙම අධ්‍යයන පාඨමාලා ඔස්සේ හොඳින් ප්‍රදර්ශනය වෙනවා. විශේෂයෙන්ම අපේ රටත්, ලෝකයත් කොවිඩ් -19 වැනි අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, නවෝත්පාදන පරිගණක විසඳුම්, ඉංජිනේරු විසඳුම්, විද්‍යාත්මක හා තාක්ෂණික උපදේශන, රක්ෂණ, බයෝටෙක් හා ජීව විද්‍යා, කෘතිම බුද්ධිය, දත්ත විද්‍යාව සහ සෙසු අලුත්ම විෂය ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා අපේ සිසුන් සූදානම් කරවීමේ අවශ්‍යතාව අපි හොඳින් තේරුම්ගෙන සිටිනවා” යනුවෙන් SLIIT පරිගණක විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දිමාල් ජයවර්ධන මහතා පැවසීය.