SLIIT, මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග නවක සිසුන් බඳවාගැනීම ආරම්භ කරයි

    January, 11, 2016

    මෙරට ප‍්‍රමුඛ පෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන SLIIT මගින් 2015 වසරේ අ.පො.ස උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමග නව සිසුන් බඳවාගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

    තොරතුරු තාක්ෂණය (IT), ව්‍යාපාර අධ්‍යයනය (Business) හා ඉංජිනේරුවිද්‍යාව (Engineering) හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට ජනවාරි 18 වන දිනට පෙර සිය අයදුම්පත් SLIIT උසස් අධ්‍යාපන ආයතනය වෙත යොමුකළ හැකිය. මෙම උපාධි වැඩසටහන් වලට අදාළ අභියෝග්‍යතා පරීක්ෂණය එළඹෙන ජනවාරි 24 වනදා SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සියලූම පරිශ‍්‍රයන් හා මධ්‍යස්ථාන වලදී පැවැත්වීමට නියමිතය.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණ (Information Technology) විද්‍යාවේදී (BSc) විශේෂ උපාධිය විශේෂීකරණය වූ ක්ෂේත‍්‍ර හයක් ඔස්සේ අධ්‍යනය කිරීමේ අවස්ථාව සිසුන්ට හිමිවී ඇත. තොරතුරු තාක්ෂණය (Information Technology), පරිගණක පද්ධති හා ජාලකරණය (Computer Systems and Networking), තොරතුරු පද්ධති (Information Systems), මෘදුකාංග ඉංජිනේරුවිද්‍යාව (Software Engineering) හා අන්තර් ක‍්‍රියාකාරීත්ව මාධ්‍ය (Interactive Media) හා සයිබර් ආරක්ෂණය (Cyber Security) මෙම විශේෂ උපාධි අතරට ඇතුළත් වී ඇත. තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත‍්‍රයට සම්බන්ධ වීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට IET පිළිගැනීම හිමිවූ මෙරට එකම තොරතුරු තාක්ෂණ (IT) පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව SLIIT වෙතින් හිමිවනු ඇත.

    නූතන ව්‍යාපාර කළමනාකරණ ක්ෂේත‍්‍රයට අවශ්‍ය විවිධත්වයෙන් යුතු ප‍්‍රවේශයක් ව්‍යාපාර පරිපාලන සිවු අවුරුදු විශේෂවේදී උපාධි වැඩසටහනට අන්තර්ගත වී ඇත. අලෙවි කළමනාකරණය (Marketing Management), ගිණුම්කරණය හා මූල්‍ය (Accounting and Finance), මානව ප‍්‍රාග්ධන කළමනාකරණය (Human Capital Management), තත්ත්ව කළමනාකරණය (Quality Management), තොරතුරු පද්ධති කළමනාකරණය (Information Systems) ඒ අතරට ඇතුළත්ය.

    අ.පො.ස උසස් පෙළ විභාගයේදී (ශ‍්‍රී ලංකා/ලන්ඩන්) ඕනෑම විෂය ධාරාවකින් එකවර විෂයන් තුනක් සමත්වීම හා SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් සිදුකරන අභියෝග්‍යතා පරීක්ෂණය සමත්වී තිබීම තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර අධ්‍යයන උපාධි වැඩසටහන් හැදෑරීමට සපුරාලිය යුතු සුදුසුකම් වෙයි. මෙම සුදුසුකම් වලට අමතරව පරිගණක පද්ධති හා ජාලකරණය (Computer Systems and Networking) උපාධි වැඩසටහන් හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන් ගණිතය හෝ භෞතික විද්‍යා විෂයන් සමත්ව සිටිය යුතුය.

    ‘‘SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් මෙහෙයවන උපාධි වැඩසටහන් සඳහා මේ වනවිට වසරකට සිසුන් 6000 කට අධික පිරිසක් ලියාපදිංචි වන අතර අප සිසුන් හට විශිෂ්ටතම අධ්‍යාපන අවස්ථාවන් හිමිකරදීමට අප විශේෂ අවධානයක් යොමුකරනවා. සිසුන් අධ්‍යාපනය ලබන ක්ෂේත‍්‍ර ඔස්සේ යමින් ඔවුන්ට සාර්ථක වෘත්තිකයින් බවට පත්වීමට උපකාර වන වෘත්තීය කුසලතා වර්ධන දින, රැකියා පුහුණුව ලබාදීමේ අවස්ථා, මෘදු කුසලතා වර්ධන වැඩසටහන් හා එළිමහන් ක‍්‍රියාකාරකම් SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් ක‍්‍රියාත්මක කරනවා. අප පාඨමාලාවන් වලට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) පිළිගැනීම හිමිවී තිබීම, SLIIT පාඨමාලාවන් වලට හිමිවී තිබෙන සුවිශේෂී ඇගයීම්, අප වෙතින් අධ්‍යාපන ලබන සිසුන්ට රැකියා අවස්ථා හිමිවන ප‍්‍රමාණය පුළුල් වීම නිසා අප පාඨමාලා වලට සුවිශේෂී ඉල්ලූමක් හිමිවෙන අතර මේ නිසාම සුවිශේෂී බඳවාගැනීම් සිදුකිරීමට ද අපට පෙළඹවීමක් ලැබෙනවා’’. SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිළධාරි ලලිත් ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

    SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සිවු අවුරුදු විද්‍යාවේදී (Bsc) ඉංජිනේරුවිද්‍යාව විශේෂවේදී උපාධිය හැදෑරීමේ අවස්ථාව ද සිසුන්ට හිමිවී ඇත. සිවිල් ඉංජිනේරුවිද්‍යාව (Civil Engineering), යාන්ත‍්‍රික ඉංජිනේරුවිද්‍යාව (Mechanical Engineering), මෙකැට්‍රොනික්ස් (Mechatronics), විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවිද්‍යාව (Electrical & Electronic Engineering) ආදී ක්ෂේත‍්‍රයන් වලට මෙම වැඩසටහන විශේෂ වී ඇත.
    මෙම පාඨමාලාවන් හැදෑරීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් අ.පො.ස උසස් පෙළ විභාගයේදී එකවර (ශ‍්‍රී ලංකා/ලන්ඩන්) ගණිතය හෝ භෞතික විද්‍යාව විෂයට සම්මාන සහිතව ගණිතය විෂය ධාරාවෙන් විෂයන් තුනක් සමත්ව තිබිය යුතු අතර SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් සිදුකරන අභියෝග්‍යතා පරීක්ෂණය ද සමත් විය යුතුය.

    මෙම පාඨමාලාවන් හැදෑරීමට ඇතුළත්වීමට අවශ්‍ය අයදුම්පත් ඕනෑම SLIIT විශ්වවිද්‍යාල පරිශ‍්‍රයකින් හෝ මධ්‍යස්ථානයකින් මෙන්ම www.sliit.lk/apply මගින් ද ලබාගත හැකිය. එමෙන්ම, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, අධ්‍යාපන අංශය, SLIIT, BOC වෙළඳ කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 03 යන ලිපිනයට සිසුන්ට සිය අයදුම්පත් යොමුකිරීමට හැකිය. 011-7544801 / 011-2301904 යන දුරකතන අංකයන්ට අමතා මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය.